දිනසේන රතුගමගේ –
දෙමළ ජනතාවට මේ රටේ නිදහසක් නොමැති නිසා පෙබරවාරී 4 වෙනිදා ජාතික ශෝක දිනයක් ලෙස සලකා සියලු දෙමළ ජනතාව එය එය සැමරීමට මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් සැමරුම් ස්මාරකය අබියසට පැමිණෙන ලෙස උතුරු නැගෙනහිර සිවිල් සමාජ එකමුතුවේ නායක වේලන් සාමිවරයා 3 දා පැවසීය.
මුලතිව් මාධ්‍ය සමාජ ශාලාවේදී ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් වේලන් සාමිවරයා කියා සිටියේ මේ රටේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වලට නිසි තැනක් ලැබී නොමැති නිසා දෙමළ ජනතාව ජාතික නිදහස් දිනය වර්ජනය කළ යුතු බවයි.
මෙම දිනය දෙමළ වැසියන්ගේ ජාතික ශෝක දිනය වශයෙන් සලකා කටයුතු කළ යුතු බවත් ජාතික නිදහස් සමරු උළෙලට විරෝධය පල කිරීම සදහා එදිනට සියලුම දෙමළ වැසියන්ගේ නිවෙස් වල කලු කොඩි ඔසවා තැබිය යුතු බවත් සදහන් කළේය.
යුද්ධය වසන් වී වසර 12 ක් ගත වීමට අසන්න මේ මොහොතේදී හෝ දෙමළ ජනයාගේ පොදු ප්‍රශ්න වලට හා ඔවුන්ගේ පොදු ඉල්ලීම් වලට රජයන් ඇහුම්කන් නොදෙමින් සිංහල බෞද්ධකම පමණක් හුවා දක්වමින් කටයුතු කිරීම අසාධාරණ ක්‍රියාවක් බවද වේලන් සාමිවරයා මෙහිදි කියා සිටියේය.
මේ නිසා සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කරමින් දෙමළ ජනතාව කොන් කෙරෙන නිදහස් සමරු උළෙලවල් වලින් දෙමළ ජනතාවට කිසිම යහපතක් නොමැති නිසා දෙමළ ජනතාව සිය ශෝක දිනය සැමරීම සදහා මුලතිව් මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය වටා එක්වන ලෙසත් එදින ජාතික නිදහස් සමරු උළෙලට විරෝධය පල කොට දෙමළ ජනතාවගේ ශෝක දිනය එදිනට සමරණ ලෙසත් වේලන් සාමිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.







