නිමල් ජයරත්න –
පියාගේ සහ කුඩම්මාගේ දරුණු පීඩාවන් ඉවසා ගත නොහැකිව පූනානිවල පදිංචි වී සිටින සිය මව සොයාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දිඹුලාගල බිම්පොකුණ ගම්මානයේ 12 හැවිරිදි දරුවෙක් පොලිසිය විසින් සිය භාරයට රැගෙන තිබේ.
දරුවා නිවසේ සිට කිලෝමීටර 35ක පමණ දුරින්වූ නාමල්ගම ප්රදේශයේ ඊයේ සවස මෙසේ පොලිස් භාරයට ගෙන ඇත. වැලිකන්ද නාමල්ගම ප්රදේශයේ ගවයන් බලන පුද්ගලයකුගෙන් ලද තොරතුරක් අනුව දරුවා සහ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබේ.
දරුවාගෙන් පොලිිසයකළ විමසීමේ දී ඔහු හඬා වැටෙමින් කියා ඇත්තේ සිය පියාගේ බැණ වැදීම් සහ පහරදීම් දරාගත නොහැකිව පූනානිවල ජීවත්වන සිය මව සොයා යන බවය.
අනතුරුව කුසගින්නේ සිටි දරුවාට කෑම බීම සපයා දුන් පොලිිසිය දෙමව්පියන් කැඳවා ඔවුන්ට දැඩි ලෙස අවවාද කර දරුවා ඔවුන් භාරයට පත් කළ බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී පැවසීය.
මෙසේ නිවසින් පලා ගොස් ඇත්තේ දිඹුලාගල බිම්පොකුණ කාශ්යපපුර අංක ඊ 40 ලිපිනයේ පදිංචි බඩගල්ලේ ගෙදර සුධීර මධුසංඛ සුමිතිතිලක නැමැති දොළොස්හැවිරිදි පිරිමි දරුවෙකි.
මෙම දරුවා නිවසින් අතුරුදහන් වී ඇති බවට අරලගංවිල පොලිසියට ලද තොරතුරක් අනුව ඔහු සෙවීම සඳහා පොලිස් නිලධාරීන් 50 කින් යුත් කණ්ඩායමක් සූදානම් කර සිටි බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල සඳහන් කළේය.
මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු 09 වෙනිදා දෙමව්පියන් සහ දරුවා පොලිසියට කැඳවා සිදුකරන බවද, අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල අප කළ විමසීමේදී පැවසීය.







