යුද්ධය ඇවිලෙමින් යන්නේය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් න්‍යෂ්ඨික බලය සහිතව ඇවිලෙන රටවල් දෙකට කීවේ දෙවැනි ලෝක යුද්ධයේ ව්‍යසනය සිහි කරගෙන මේ ගැටුම නවත්වන ලෙසය. එහෙත් ඇහුම්කන් දෙන පාටක් නැත.
ඉන්දියාවට බිහිසුණු විපාක විඳින්නට වනු ඇති බවට පකිස්ථානය ඊයේ අනතුරු ඇඟවූයේය. අද පකිස්ථානය කීවේ
ලාහෝර් සහ කරච්චි ඇතුළු රටේ ප්‍රධාන නගර කිහිපයකට ඇතුළු වූ ඉන්දීය ඩ්‍රෝන යානා 25ක් වෙඩි තබා බිම හෙළුෑ බවය. ඉන්දීය ප්‍රහාරවලින් අවම වශයෙන් එක් සිවිල් වැසියෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් පකිස්ථානය පැවසුවේය.

පැය කිහිපයකට පසු ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේ පාකිස්තානයේ ගුවන් ආරක්ෂක රේඩාර් ඉලක්ක කරගත් ප්‍රහාරයක් එල්ල කර ලාහෝර්හි එක් ආරක්ෂක පද්ධතියක් “උදාසීන” කළ බවය.
පාකිස්තානය ඉන්දියාවට සහ ඉන්දීය පරිපාලන කාශ්මීරයට ඩ්‍රෝන සහ මිසයිල මගින් එක රැයකින් පහර දීමට උත්සාහ කළ නමුත් ඒවා වෙඩි තබා බිම හෙළූ බවත් ඉන්දියාව කීවේය.
තත්වය ඉතා නොසන්සුන්ය. ඉස්ලාමාබාද්ට අනුව, ඉන්දියාව පකිස්ථානයට සහ පාකිස්තාන පරිපාලන කාශ්මීරයට මාරාන්තික මිසයිල ප්‍රහාර දියත් කිරීමෙන් දිනකට පසු, අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගිය ගොස් ඇත.
ඉන්දියාව සහ පකිස්ථානය අතර අර්බුදය “මංසන්ධියක” පවතින බව වොෂින්ටනයේ දකුණු ආසියානු විශ්ලේෂක මයිකල් කුගල්මන් උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කරයි.
“දෙපාර්ශ්වයම ගන්නා අමතර ක්‍රියාමාර්ග ගැටුම් උග්‍ර වීමේ අවදානම බෙහෙවින්ම ඉහළට ගෙන යනු ඇත. එබැවින් ඉදිරි පැය කිහිපය තීරණාත්මක වනු ඇත,” කුගල්මන් පැවසීය.
මේ අතර පකිස්ථාන විදේශ ඇමති ඉෂාක් ඩාර් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පැවසුවේය.
“නිර්භීත ප්‍රහාරයකින් පසු පකිස්ථාන සන්නද්ධ හමුදා ඉන්දියානු ප්‍රහාරක ජෙට් යානා සහ UAV යානා ගණනාවක් බිම හෙළා ඇත. එමෙන්ම පකිස්ථනා හමුදා කඳවුරුවලට පහර දුන් බවට ඉන්දියාව කරන ප්‍රකාශය අමූලික බොරුවකි.
තවද පකිස්ථානය එක රැයකින් ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාරක් කාශ්මීරයේ ඉන්දීය පරිපාලන ප්‍රදේශයට එල්ල කළ බවත් එම ඩ්‍රෝන යානා වෙඩි තබා බිම දැමූ බවට වූ ඉන්දීය ප්‍රකාශයක් එවැනිම අමුලික බොරුවක් බව කිව යුතුව තිබේ.
මගේ සෙසු රටවැසියනි, කාන්තාවන්, කරදර වීමට අවශ්‍ය නැත. ඔබේ රටේ සන්නද්ධ හමුදා “සම්පූර්ණයෙන්ම සීරුවෙන්” සිටී. හෙට අපි ජාතික ආරක්ෂක රැස්වීමක් පවත්වන්නෙමු. අපි ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන්නෙමු.”
ජන ජීවිතය
මේ වනවිට රාත්රියේදී ඔවුන්ගේ විදුලි පහන් නිවා දැමීමට මායිම් නගර කිහිපයකට දෙපාර්ශවයම දැනුම් දී තිබේ. මිනිසුන් ද ඉවත් කර ඇත.
දෙරට අතර ගුවන් ගමන් අත්හිටුවා තිබේ. වීදිවල විශාල භීතියක් සහ කනස්සල්ලක් පවතී. ලාහෝර්හි ජනතාව අද අවදි වන්නේ උදෑසන ඇසුන පිපිරීම් ශබ්දයෙනි. ඉදිරි පැය 24 තුළ රට කොතැනට යන්නේ දැයි ඔවුන් තිගැස්මට පත් මිනිස්සු දන්නේ නැත.
පකිස්ථාන ජනතාව කනස්සල්ලට පත් කර ඇති තවත් සිදුවීමක් වන්නේ ඉන්දු ජල ගිවිසුමය. මෙම ජල ගිවිසුම මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් රඳා පවතින ඉන්දියාව සහ පාකිස්තානය අතර ජල බෙදා හැරීමේ ගිවිසුමකි. මෙම ගිවිසුමේ සහතිකකරුවන් මැදිහත් වී න්‍යෂ්ටික බලවතුන්ගෙන් ආතතීන් සමනය කරන ලෙස ඉල්ලා නොසිටියහොත්, ඒවා පාලනයෙන් තොර විය හැකි බවට බියක් පවතී.
වැඩේ ඇදෙන්නේ ජාතිකත්වය හා හෘද සංවේදී හැඟීම් අවුලුවමිනි. පෙහෙල්ගම්වල ත්‍රස්වාදීන් බිලිගත් ජීවිත විසි ගණනක වන්දිය ලක්ෂ සංඛ්‍යාත අහිංසක ජනතාවකගේ ජීවිත මත පතිත වී එය කුඩු පට්ටම් කරන මහා ව්‍යසනයකට ඇද දමා කරන දේශපාලනයකට එළඹීමට ඉන්දියාව තීරණය කර ඇති බව පෙනේ. පකිස්ථාන නායකත්වය දැනට ප්‍රකාශිත ආකාරයට ඉල්ලන්නේ යුද්ධයකට නොගොස් කරන ඉහළ මට්ටමේ පරීක්ෂණයකි. එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඉන්දියාවට ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවද පකිස්ථානය පවසා ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉහළ මට්ටමේ රැස්වීමක ප්‍රධානත්වය දැරූ අතර එහිදී ඔහු “ජාතික ආරක්ෂාව, මෙහෙයුම් සූදානම සහ පුරවැසි ආරක්ෂාව” සඳහා රජයේ කැපවීම නැවත තහවුරු කර තිබේ.
“ගැටුමට අදාළව සියලුම අමාත්‍යාංශ ඔවුන්ගේ ක්‍රියාමාර්ග හඳුනාගෙන ඇති අතර ක්‍රියාවලීන් ශක්තිමත් කරමින් සිටී,” ප්‍රකාශයේ සඳහන් වේ. “සියලු ආකාරයේ නැගී එන තත්වයන්ට මුහුණ දීමට අමාත්‍යාංශ සූදානම්.” මෝදි තවදුරටත් කියයි.
උද්දච්ඡ දේශපාලන වීරත්වය සහිතව මනුෂ්‍යත්වයට අභියෝග කරන මෙම ව්‍යසනයේ නොබැඳි පිළිවෙතක් දරන්නට ශ්‍රී ලංකාව ගෙන යන ස්ථාවරය පවත්වා ගැනීමට ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරට සමගම කරන යුද්ධයකට නොදෙවැනි බැරෑරුම් කමක් ප්‍රකට කරන්නක් බව කිව යුතුව ඇත.
අප ඉන්නේ පිපිරීමට ආසන්න ගිනි කන්දක් පාමුලය.







