මනම්පිටිය නිමල් ජයරත්න –
උතුරු මැද පළාතේ පාසල්වල හයවෙනිදා දිනට පැවැත්වීමට නියමිත අවසාන වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වීමත් සමඟ උතුරු මැද පළාතේ 11 වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විභාගය පැවැත්වීම තාවකාලිකව නතර කරන ලෙස පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සියලු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට දැනුම් දීමක් කර තිබේ.
එම ප්‍රශ්න පත්‍රය ඊයේ ( 05 ) සමාජ මාධ්‍යවල හුවමාරු වී ඇති බවට පැමිණිලි ලැබීමෙන් අනතුරුව එම ප්‍රශ්න පත්‍රය පාසලකින් පිටව ඇති බවද අනාවරණය වී තිබේ.
ඒ හේතුවෙන් 06 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රයේ 1/11/111 කොටස් නොපවත්වන ලෙස පලාත් අධ්‍යාපන ලේකම් උතුරු මැද පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද දන්වා ඇත.
මේ පිළිබඳව කඩිනමින් කොට්ඨාසයේ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කරමින් 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රය නොපැත්වීමටත්, පාසල් වෙත ලබාදී ඇති 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍ර පැකට් සියල්ල 06 වෙනිදා පෙරවරු 9.00 ට පෙර නැවත කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත ගෙන්වා ගැනීමටත් කටයුතු කරන ලෙසද පළාත් අධ්‍යාපන ලේකම්වරයා අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට දැනුම් දීමක් කර තිබේ.
එම සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය කාලසටහන අනුව විභාගය අවසන් වීමෙන් පසුව එළඹෙන ජනවාරි 20 වන සදුදා දින පැවැත්වීමට කටයුතු කරන ලෙස ද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දුන් නිවේදනයේ සඳහන් වේ.
මෙම සිද්ධියත් සමඟ උතුරු මැද පළාතේ කලාප 8 කට අයත්, කොට්ඨාස තිහක පාසල් 600 කට අධික ප්‍රමාණයක සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය බෙදා හැරීම නවත්වාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරිමට නියමිතව ඇත.







