පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් මරණ සියයට 17කින් ද, ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 12කින් ද, දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 3කින් ද ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය තාක්ෂණික සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අන්වර් අම්දානි පවසයි.
මරණයට පත්වන පිරිසෙන් සියයට 65ක් පමණ දෙනා බූස්ටර් මාත්‍රාව ලබා නොගත් අය බව පෙන්වා දෙන අධ්යක්ෂවරයා දැනට බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ සියයට 44ක් පමණක් බව කියයි.
“ දැනට දිනකට කොවිඩ් මරණ 30ක් පමණ වාර්තා වෙනවා. ඉන් සියයට 60 -65 අතර පිරිසක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන නෑ. මේක ගෝලීය වසංගතයක්. අනෙක් රටවල් එක්කත් සංසන්දනාත්මකවයි බලන්න ඕන. අනෙක් දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමවේද අධ්‍යයනය කරලා අනුගමනය කරමින් තමයි මේ බූස්ටර් මාත්‍රාව හඳුන්වා දීලා තිබෙන්නේ. බූස්ටර් මාත්‍රාව හඳුන්වා දීමේ ප්‍රධානම පරමාර්ථය තමයි ඔබව රැකගැනීම. ඒ නිසා ඔබ ඉදිරිපත් වෙන්න ඕන ඔබව රැක ගන්න. එයින් තමයි ඔබත් අපත් සමාජයත් රටත් ආරක්ෂා වෙන්නෙ“ යැයි වෛද්‍ය තාක්ෂණික සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අන්වර් අම්දානි පැවසීය.







