වනජීවී නිලධාරීන්ට අවශ්‍ය මෙවලම් හා උපකරණ තිබුණා නම් හැටන් සමර්හිල් තේ වත්තකදි මද්දකට හසුව මිය ගිය කඳුකර කොටියාගේ ජීවිතය බේරා ගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එම් කුමාරසිරි විජේකෝන් සඳහන් කළේය.

වනජීවී අමාත්‍යවරයා අදාළ වනජීවී නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් සිදුකිරීමට පෙර වන සතුන් අනතුරකට පත් වූ විටදී බේරා ගැනීමේදි අවශ්‍ය මෙවලම් සහ උපකරණ වනජීවී නිලධාරීන්ට ලබා දිය යුතු බව ඔහු කීවේය.
එමෙන්ම සාධාරණ පරීක්ෂණයක්ක් කිරීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවද කුමාරසිරි විජේකෝන් මනම්පිටියේ ප්‍රදේශයේ අද ( 09 ) සවස පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ ලේකම් ඩබ්ලිව්. එම්. එල් කේ.වාසල , ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් ජේ,ඒ, නලින් ජයසූරිය ද එක්ව සිටියහ.
මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ වූ ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරී සංගමය සභාපති ඩබ්ලිව් එම් කුමාරසිරි විජේකෝන් මෙසේද කීවේය
“කඳුකර කොටියාගේ මරණයට වනජීවී නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් කරනව වගේම දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක් විය යුතු බොහෝ දේවල් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් පහළට ලංකාවේ සේවයක කරන්න ඉන්නේ වනජීවී නිලධාරීන් 895යි. එම නිලධාරීන් සංඛ්‍යාවක් සමග තමයි අපිට මේ හැම රාජකාරියක් ම කරන්න වෙලා තියෙන්නේ.
අපේ නිල් නිලධාරියාට සතෙකු අනතුරට පත් වූවාට පස්සේ ඌ බේරාගැනීම සඳහා කිසිම උපකරණයක් දෙපාර්තමේන්තුවෙන් ලැබිලා නෑ. ඔය අධ්‍යක්ෂ ජනරාල් ඔය බව දන්නවා. අතින් පයින් තමයි සතුන් බේරා ගැනීමට සිදුවෙලා තිබෙන්නේ,
අද මින්නේරිය ගිරිතලේ අලි ඇතුන්ට පෝෂණය මදිවෙලා උන් මියයන තත්වෙට පත්වෙලා. හැබැයි ඒ පිළිබඳ කවුරුවත් විමර්ශනයක් කරන්නේ නැහැ, අද වනාන්තරවල ඉන්න අලි ඇතුන්ට වන සතුන්ට කන්න දේවල් නෑ. හැබැයි දඹුල්ලේ එළවළු ටොන් ගණන් අහක යනවා. ඒවා වන සතුන්ට දෙන්න ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව හදලා නැහැ. ඒ ගැනත් විමර්ශනය කරන්න කියලා අපි ඔය වනජීවී ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
මේ වන විට ජාතික වනෝද්‍යානවල සතුන් දඩයම් කිරීම් වැඩි වෙලා තිබෙනවා. රක්ෂිතවල වනජීවී අපරාධ බහුල වෙලා තිබෙනවා, ලංකාවේ ජාතික උද්‍යානයන් සීයක් පමණ තිබෙනවා. මේ හැම උද්‍යානයකම වනජීවී අපරාධ බහුල තියෙනවා. හැබැයි අපිට ඒවා වැටලීම් කරන්න යන්න බලන්න ඉන්ධන පහසුකම් නෑ, ඒවට අවශ්‍ය මෙවලම් ආම්පන්න උපකරණ නැහැ, අපි අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙනවා. ඒ ගැනත් විමර්ශනයක් කළොත් හොඳයි.
ඔය කියන කඳුකර කොටියා බේරාගන්න එනන්න හිටිය වෛද්‍යවරයා ඉන්ධන පෝලිමේ ඉඳලා තමයි සවස 4 ට විතර ඒ තැනට ගිහින් තියෙන්නෙ. මේ තත්වෙට අපිව පත්වෙන්ඩ හේතුව පිළිබඳවත් විමර්ශනයක් කළ යුතුයි කියලා මම වනජීවි අමාත්‍යවරයාට යෝජනා කරනවා.
මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවට පහසුකම් මදි නිසා බරපතළ කඩාවැටීමක් වෙලා තිබෙනවා. අපිට නිලධාරීන් මදි, සම්පත් මදි, ලැබෙන උපකරණ දීමනා මේ කිසිවක් ලබා නොදී විමර්ශනයක් සිදු කිරීම සාධාරණය නෑ කියලා තමයි අපේ යෝජනාව.
එනිසා හැටන් ප්‍රදේශ්යේ ඒ වනජීවී නිලධාරීයාට එරෙහිව විමර්ශනයක් සිදු කරනවා නම් ඒකට සාධාරණ පරීක්ෂණයක් කරනවා නම් එයින් ඔබ්බට ගිහිල්ලා ඒක සිදුවීම්වලට හේතුව කාර්ණාව විමර්ශනයක් කරන ලෙසත් මම ඉල්ලා සිටිනවා.“ යැයි ද කුමාරසිරි විජේකෝන් වැඩිදුරටත් කියා සිටියේය,







