කීර්ති ප්‍රනාන්දු –
නිශ්පාදන කර්මාන්ත ශාලාවලදීම ඉතා සූක්ෂම ලෙස රත්තරන් සඟවා සකසා ගත් භාණ්ඩ තොගයක් තුළ රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (29) උදෑසන කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගත්තේය.
රේගු නිලධාරීන් නොමග යැවීම සදහා විදේශීය කර්මාන්තශාලාවේදීම සූක්ෂම ක්‍රම භාවිතා කරමින් මෙම රත්තරන් තොගය සඟවා තිබිණි. .
අත්අඩංගුවට පත්වන්නේ කොළඹ , දෙහිවල ප්‍රදේශයේ පදිංචි , පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මූල්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කරන 25 හැවිරිදි තරුණයෙකි .
ඔහු අද (29) උදෑසන 09.05 ට බහරේනයේ සිට , ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීම සිදු කර තිබේ .
එහිදී ඔහු රැගෙන එමින් සිටි සුවඳ විළවුන් බෝතල් 06 ක මූඩිය තුළ ඉතා සූක්ෂම ආකාරයට රත්තරන් තහඩු සඟවා තිබී හමුවී ඇත.
මීට අමතරව මේ ආකාරයටම ටයිගර් බාම් ඇසුරුම් 12 ක පියන් තුළ මෙන්ම , කාබන් පෑන් 06 ක ද කාබන් තීන්ත බටය තුළට රත්තරන් කූරු ඇතුළු කර සකස් කර තිබුණි . එහිදී මෙම පෑන් හොදින් ලියැවෙමින් තිබූ අතර , රේගු නිලධාරීන් සිදු කළ ස්කෑන් පරීක්ෂා වලදී මෙම අනාවරණය කර ගැනීම් සිදු කර තිබුණි .
අමීට අමතරව ඔහු රැගෙන ආ යතුරක් ද මුළුමනින්ම රත්තරන් වලින් නිමවා තිබූ අතර , ඔහු පැළද ගෙන සිටි ඉන බදින පටියෙහි බකල් එකද රත්තරන් වලින් නිමවා තිබුණි .
ඊට අමතරව ඔහු රැගෙන ආ සාස්පාන් දෙකක හැඩලයන් තුළට ද රත්තරන් කූරු බස්වා සකස් කර තිබුණි.
මේ සියල්ලම රේගු නිලධාරීන් නොමග යැවීම සදහා එම භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා වලදීම , සැක නොසිතෙන ආකාරයට සූක්ෂම ලෙස නිමාවට පත් කර තිබුණි .
මෙම භාණ්ඩ තුළ ග්රැම් 682 බරැති රත්තරන් තිබූ අතර ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් විය .
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ වනවිට මේ තරුණයා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති







