-
නවුෆර් මවුලවි අත් අඩංගුවට ගත්තේ ප්රහාරය සිදු වූ දින රාත්රියේ..
-
පරීක්ෂණ තහවුරු කළේ ඔහු ප්රහාරයට විරුද්ධව සහරාන් සමග ගැටී ඉවත් වුණු අයෙක් බවයි…
-
පාස්කු කොමිසමටවත් නොගෙන්වූ නවුෆර් මවුලවි හිටි හැටියේ ප්රහාරයේ මහ මොළකරු වෙලා
අංජුල මහීක වීරරත්න
පාස්කු ප්රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවටවත් නොකැදවූ නවුෆර් මවුලවි හිටි හැටියේම පාස්කු ප්රහාරයේ මහමොළකරු වූවේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ඊයේ (08) ප්රශ්න කළේය.
නවුෆර් මවුලවි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්රහාරය වූ දින රාත්රියේම යහපාලන ආණ්ඩුව යටතේ බව පැවසු වජිර අබේවර්ධන මෙම සැකකරු පාස්කු ප්රහාරයට දින කිහිපයකට පෙර සහරාන් සමග ඇතිකර ගත් ගැටුමක් හේතුවෙන් ඔවුන්ගෙන් ඉවත්වූ බවට පරික්ෂණවලදී හෙළිව ඇතැයිද කීවේය.
පාස්කු දින ප්රහාරයට අකමැත්ත පළකරමින් ඉවත් වූ පුද්ගලයා ප්රහාරයේ මහමොලකරු නම් ඔහු අනිවාර්යයෙන්ම පාස්කු කොමිසමට කැදවා ප්රශ්න කළ යුතුව තිබු නමුත් එලෙස කටයුතු නොකළේ කාගේ බලපෑමෙන්දැයි රජය වහාම ප්රකාශයක් කළ යුතුයැයිද සභාපතිවරයා කියා සිටියේය.
නවුෆර් මවුලවි ප්රහාරයේ මහමොළකරු බවට රජයේ පාර්ශවයෙන් කළ ප්රකාශය සම්බන්ධයෙන් කරුණු විමසමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීවේය. විදෙස්ගත පුද්ගලයන් හා විදෙස්ගත බුද්ධි අංශ ගැන විමසා බලන ලෙස පාස්කු වාර්තාවේ සදහන් වෙද්දි නවුෆර් මවුලවි මහමොළකරු ලෙස හැදින්වීමට හේතු සාධක මොනවාදැයි රජය ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතුව ඇතැයි ද සභාපතිවරයා කීවේය.