වැඩබලන ආගමන විගමන පාලකවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අමාත්‍යාංශ අතිරේක ලේකම් නිලූෂා බාලසූරිය දිවයිනේ නැති අවස්ථාවක ආගමන විගමන පාලකවරයා ලෙස චමින්ද පතිරාජ පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට බන්ධනාගාරගතව සිටින හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය සම්බන්ධව ඇති බරපතල වංචා චෝදනා විමර්ශනය ආරම්භ කර ඇති අවස්ථාවක හර්ෂ ඉලුක්පිටියට ඇති වී ඇති අවදානම අවම කරගැනීම සඳහා දෙපාර්තමේන්තුව ඇතුළේ නිලධාරී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පැවති බව මින් පෙර සිට වාර්තා වී තිබිණි.
එම යාන්ත්‍රණයේ පළමු විරෝධය මතුවී තිබුණේ වැඩබලන ආගමන විගමන පාලකවරිය වෙත බව ද වාර්තා විය.
එවැනි පසුබිමක් තුළ මෙම වෙනස සිදුවීමත්, ආගමන විගමන පාලකවරයා ලෙස පත්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති නිලධාරියා හර්ෂ ඉලුක්පිටියගේ සමකාලීන නිලධාරියෙක් වීමත්, මෙම තනතුර සඳහා ඔහුව පත් කරනු ලබන්නේ ඊ – ගේට් ව්‍යාපෘතිය සඳහා වැඩබලන ආගමන විගමන පාලක ලෙස කටයුතු කළ නිලූෂා බාලසූරිය ජර්මනියට ගොස් සිටින අවස්ථාවක වීමත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් අතර අපහැදීමකට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.







