ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයත් සමග ඔහු දැරූ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ ආවරණය කිරීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පත් කිරීම සම්බන්ධව අද (23) පාර්ලිමේන්තුවේ විපක්ෂය ප්‍රශ්න කළේය.
ඒ අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගය කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමේ පදනම යළිත් වරක් මතු කරමිනි. නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට උපකාරක අවස්ථාවක් මිස අමාත්‍යවරයක් දරන වගකීම් නොමැති බැවින් විශ්වාසභංගයක් රැගෙන ඒමට හැකියාවක් නොමැති බව තර්කනයෙන් පෙන්වා දී කතානායකවරයා එම විශ්වාසභංගය ප්‍රතික්ෂේප කළත් ජනාධිපතිවරයා නොමැති සෑම අවස්ථාවකම ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ බලන අරුණ ජයසේකරට බලයක් සහ වගකීමක් නොමැත්තේ කෙසේ දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටියේය.
අද උදේ මේ ප්රශ්නය මතු කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකය.
ජනාධිපති තුමා මේ වනවිට විදේශගත වෙලා ඉන්නවා. ජනාධිපති මාධ්‍ය අංශය මේ වනවිට නිවේදනයක් නිකුත් කරලා තියනවා ජනාධිපති තුමා අමාත්‍ය ධූරය දරන අමාත්‍යාංශ තුනකට වැඩ බලන ඇමති ධූර ලෙස නියෝජ්‍ය ඇමතිවරු තිදෙනෙක් වැඩ බලන්න පත් කරපු බව.
මම කැමතියි ඔබතුමාගේ අවධානය යොමු කරන්න අර්ථ නිරූපණ ආඥා පනතේ 2 ඈ වගන්තිය. අමාත්‍යවරයා යන්න ආණ්ඩුවේ යම් විෂයයක් හෝ කරත්ව්යයයක් සම්බන්ධයෙන් යෙදුන විට ජනාධිපතිවරයා විසින් එම විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇති අමාත්‍යවරයා ඉන් අදහස් වන අතර ඒ අමාත්‍යවරයා වෙනුවෙන් ක්‍රියා කිරීම සදහා යථා පරිදි පත් කරනු ලැබූ තැනැත්තෙක් ඊට ඇතුළත් වේ.
ඒ අනුව ජනාධිපති තුමා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බැලීමට මේ වතාවෙත් නියෝජ්‍ය ඇමතිවරයා පත් කරලා තියනවා. අපි විශ්වාසභංගයක් ඉදිරිපත් කළාම ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කළේ නියෝජ්‍ය ඇමතිවරුන්ට බලතල නෑ කියලා. අපි මේ විශ්වාසභංගය ගෙනාවේ එතුමා එක්ක පුද්ගලික ප්‍රශ්නයකට නෙමෙයි. අපි මේ විශ්වාසභංගය ගෙනාවේ සද් භාවයෙන්.
අපි දැනගන්න කැමතියි ඔබතුමා දැන්වත් අපි භාර දුන්න විශ්වාසභංගය නිවැරදියි කියලා පිලිගන්නවද ?
කතානායකවරයා ඒ අවස්ථාවේ දී පැවසුවේ විශ්වාසභංගය ලබා දුන් මන්ත්‍රීවරුන් ට කතානායකවරයා සමග සාකච්ඡාවක් ලබා දී ඇති බවත් එහිදී මේ පදනම දීර්ඝ සහ පුළුල් වශයෙන් පැහැදිලි කිරීමට සූදානම් බවත්ය.







