මානව අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධව දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් ඇති පොලිසිය පිළිබඳ බිඳී ගිය ජනතා විශ්වාසය ඇති කිරීම සඳහා චෝදනා රහිත, ආදර්ශමත් නිලධාරීයෙක් පොලිස්පතිවරයා ලෙස පත් කරගත යුතුව තිබූ අවස්ථාවක මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමට වරදකරුවෙක් වූ විවිධ අපරාධ චෝදනා එල්ලවී ඇති අයෙක් වැඩබලන පොලිස්පති බවට පත්කිරීම සම්බන්ධව සිය අප්‍රසාදය පලකරමින් නීතිඥ සංගමය ප්‍රබල නිවේදනයක් නිකුත් කර තිබේ.
නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මේ වනවිට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් යනු පසුගිය 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්වන එස්. තුරෙයිරාජා, කුමුදිනී වික්‍රමරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ ඒකමතික තීන්දුව අනුව පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වූ තැනැත්තෙක් බවය.
පුද්ගලයෙක් බලහත්කාරයෙන් රඳවාගෙන තමන්ගේ අධීක්ෂණය යටතේ වද බන්ධනයට පත් කර මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ වැඩබලන පොලිස්පතිවරයා සහ තවත් නිලධාරීන් තිදෙනෙකුට ස්වකීය පුද්ගලික මුදලින් දඩ ගෙවීමට සිදු වූ බව ද නීතිඥ සංගමය සිහි කරයි.
නීතිඥ සංගමය කියන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හෝ අපරාධ ක්‍රියාවලට, නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ හෝ ඒ පිළිබඳව චෝදනාලද පුද්ගලයෙක් පොලිස්පති ධූරයේ වැඩබැලීමට හෝ පත්කිරීම නොකළ යුත්තක් බවය.
පොලිස්පතිවරයා ඇතුළු සියලුම පත් කිරීම් සිදුවිය යුත්තේ සමාජයේ විශ්වාසය තහවුරු වන ආකාරයෙන් විනිවිද පෙනෙන ලෙස බව නීතිඥ සංගමය කියයි.
නීතිඥ සංගමය ඇමතිට දෙන උත්තරය
පසුගියදා පොලිස් නිලධාරින් වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දියත් කර තිබෙන මෙහෙයුම් වලට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් වලට යටවූ පිරිස් තමන්ට සහ වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව හඬ නගන බවයි.
“මට ගහනවා, පොලිස්පතිතුමාට ගහනවා. සමාජ මාධ්‍යයෙන් හැමදාම ගහනවා. මේ ඔක්කොම කුඩු සල්ලි. පාතාලයේ සහ කුඩු සල්ලි වලින් තමයි මේවා වෙන්නේ.
“මම තමයි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න කියලා කිව්වේ. ඔහුව පොලිස්පති කරලා මගේ ගෙදර අරන් යන්න නෙමෙයි නේ.”
“ඔක්කොමලා දන්නවා සමහර ආගමික නායකයින් ඇතුළු හුගාක් නීතිඥවරුන්. පස්සේ බලන කොට මට තේරුණා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.”
“මම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න කියලා කියනකොට ඒකට විරුද්ධව හිටිය නිතිඥවරුන් තමයි මේ කුඩුකාරයින් වෙනුවෙන් රුපියල් මිලියන බිලියන ගණන් වලට උසාවි වලදී පෙනී ඉන්නේ.” අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
“මම නම් කියන්න කැමති නැහැ. නමුත් මේ මාධ්‍ය හමුවල ලොකුවට කතා කරන ඔය නීතිඥවරුන් තමයි අභියාචනාධිකරණයේ සහ කොටුවේ උසාවියේදී මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා වාර්තා වෙන්නේ.” අමාත්‍යවරයා එහිදී පැවසීය.
ටිරාන් අලස් ඇමතිවරයාගේ මේ කතාවට පිළිතුරු දෙන දෙන නීතිඥ සංගමය ඇමතිවරයාට මතක් කර සිටින්නේ සේවාලාභියෙකු වෙනුවෙන් පෙනී සිටීමේ වෘත්තීය අයිතියක් බවය.
නීතියෙන් ආරක්‍ෂා කර තිබෙන එයට එරෙහිව එල්ල වන ඕනෑම බලපෑමක් පොදුවේ වෘත්තියට එල්ල කරන ප්‍රහාරයක්” බව නීතිඥ සංගමය සිය නිවේදනයේ සඳහන් කර කරයි.
එමෙන්ම සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇති බවත්, ඔවුන්ගේ නීතිඥයෙකු විසින් නියෝජනය කිරීමට අයිතියක් ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13(3) ව්‍යවස්ථාවේ නෛතික නියෝජනය සඳහා ඇති අයිතිය විශේෂයෙන් සහතික කර තිබෙන බවද නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.








