ශ්‍රියානි විජේසිංහ-
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විස්තීර්ණ ආපදා තත්ත්වයට සම්බන්ධ සියළුම රාජකාරිවලින් අද (27) සිට අඛණ්ඩව ඉවත් වීමට රාජ්‍ය සේවක වෘත්තීය සංගම් පහක් ඒකාබද්ධව තීරණය කර තිබේ.
මේ සඳහා රජයේ සේවකයන් 16 000 ක් සහභාගීවන බවත් මේ අනුව දිට්වා සුළි කුණාටු ආපදාවලට සම්බන්ධ සියලුම රාජකාරි සම්පුර්ණයෙන්ම නතර වන බව ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමයේ ලේකම් නෙවිල් විජේරත්න සඳහන් කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ, සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ප්රගතිශීලී ග්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා මධ්‍යම රජයේ තාක්ෂණික සංගමය සහ සිවිල් නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය යන සංගම් ඒකාබද්ධව බවද හෙතෙම පැවසුවේය.
රාජ්‍ය ආයතන 12කට, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විෂයභාර අමාත්‍යවරුන් ඇතුළු වගකිවයුතු අංශ ප්‍රධානීන් වෙත ලිඛිතව මෙම තීරණය දැනුම් දී තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයට මේ වන විට දින 93කට අධික කාලයක් ගත වී තිබෙන බවත් එම කාලය පුරා ආපදා සහන සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් දිවා රෑ නොබලා රජය හා පීඩාවට පත් ජනතාව අතර සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කර තිබෙන බවත් ශ්‍රි ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමයේ ලේකම්වරයා පැවසුවේය.
බොහෝ නිලධාරීන් තම ජීවිත අවදානම නොතකා, පවුල්වලට පවා හානි සිදුව තිබියදී, කිසිදු අතිරේක වරප්‍රසාදයක් නොලැබ සේවය කළ බව ද සංගම් සඳහන් කළේය.
මේ අනුව සංගම් පවසන්නේ, නිසි මූල්‍ය විනයක් සහිත චක්‍රලේඛ නිකුත් නොවීම, උපදෙස් පරස්පර වීම, කෙටි කාලයකින් නිතර සංශෝධන, සාකච්ඡා මගින් එකඟ වූ කරුණු ක්‍රියාත්මක නොකිරීම, දීමනා හා ඉන්ධන පහසුකම් නොලැබීම, ආරක්ෂක උපකරණ නොදීම යනාදී ගැටලු හේතුවෙන් නිලධාරීන් දැඩි පීඩනයකට පත්ව ඇති බවය.
.සංගම් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් අතර, ආපදා රාජකාරි ආරම්භ වූ දින සිට දෛනික දීමනාවක්, අවම වශයෙන් දින 08ක අතිරේක දීමනාව, මුල් මාස දෙක සඳහා ඉන්ධන දීමනාව හා ඉදිරියට ලීටර් 20 බැගින් දිමනාවක් ලබා ගැනීම, හානි පරීක්ෂා සඳහා අයදුම්පතකට රු. 250ක් ගෙවිම, මාර්ගෝපදේශ සංශෝධනය, සාධාරණ වන්දි ගෙවීම, ග්‍රාම නිලධාරීන්ට ආරක්ෂක උපකරණ ලබා දීම ආදිය ඇතුළත් වේ.
එහෙත්, මහජනතාවට සිදුවිය හැකි අපහසුතා පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන සංගම්, මෙම තත්ත්වයට වගකිව යුත්තේ අදාළ පරිපාලන බලධාරීන් බව අවධාරණය කර සිටිති.
ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියහ.







