පක්ෂයේ ජාතික කැඳවුම්කරු ලෙස පත්කරගත් රෝහිත අබේගුණවර්ධනත් අද දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයා පලකරමින් එක් වූ බවත්, හෙට දිනයේ දී බොහෝ විට පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක්විය හැකි බවත්, ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ පසු දැනට පක්ෂයේ ඉතිරිවී ඇති අතලොස්සෙන් අඩක් ද ගැලවීමට නියමිත බවත් විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා නොදී වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා දේශපාලන බල මණ්ඩලයට පක්ෂයේ මහලේකම් විසින් ගෙනා යෝජනාව යම් කිසි පුද්ගලයෙකුගේ අනාගත දේශපාලනය සැදීම සඳහා ගෙනා යෝජනාවක් නම් ගත වූ දින 05 තුළ අත්දැකීමෙන් එය සාර්ථක වැඩපිළිවෙළක් නොවන බව තහවුරු වූ බවය.
පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ පවා මුල් අවස්ථාවේ සිටියේ සාගර කාරියවසම් ඉදිරිපත් කළ අදහසට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අදහසක යැයි කී කාංචන විජේසේකර අන්තිමට පක්ෂයට පත්කළ මන්ත්‍රී සාගර කාරියවසම් පමණක් ඉතිරි වුව ද පුදුම නොවන බව පැවසුවේය.
“අපි පොදුජන පෙරමුණ වශයෙන් ජනාධිපති තුමාට සහාය දෙන්න තීරණය කළේ මීට වසර දෙකකට පෙර. ඒක අලුතින් සිද්ධවුන දෙයක් නොවෙයි.
ඊට පසු පසුගිය සතියේ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව දැන්නුවා. ඒ දැන්වීමෙන් පසු අපි පක්ෂයට ඉදිරිපත් කළා පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රී වරුන්ගේ කැමැත්ත තිබෙන්නේ ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙලා ඉන්න අවස්ථාවේ ඔහුට සහයෝග ලබා දිය යුතුයි කියන මතය.
එහෙත් මමත් මාධ්‍යයෙන් දැක්කා මේ වනවිට පක්ෂය විසින් අපි කීප දෙනෙක් දරපු තනතුරුවලින් ඉවත් කළා කියලා. නමුත් අපි එකක් කියන්න ඕන. පක්ෂයට අපිව තනතුරුවලින් ඉවත් කරන්න පුලුවන්. ලිපි ලියන්න පුලුවන්. විනය පරීක්ෂණ තියන්න පුලුවන්. නමුත් එම තීන්දුව අරන් ඉන්න පිරිසකගේ මතය වෙනස් කරන්න පුලුවන්කමක් නෑ.
මීට පෙරත් පක්ෂයේ හිටිය බොහෝ පිරිස් විවිධ මත පලකළාම ඒ පිරිස් පක්ෂයෙන් ඉවත් කළා. ඒ ඉවත් කරපු එකේ ප්‍රතිඵල තමයි අපි භුක්ති විඳින්නේ. පක්ෂය තුනකට හතරකට කැඩිලා පක්ෂයට ඉතාම සුළු මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉවත් වෙලා තියෙන්නේ පක්ෂය ඒ ගත්ත තීන්දු තීරණත් එක්ක.
අද පක්ෂයට ඉතිරි වෙලා තියෙන්නේ 2020 මැතිරණයෙදි පාර්ලිමේන්තුවේ හිටිය මන්ත්‍රීවරුන් 149න් ඉන්නේ 24කටත් අඩු ප්‍රමාණයක්.
අද පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධනත් ඉන්නෙත් රනිල් වික්‍රමසිංහ සමග. හෙට අනිද්දට පක්ෂයේ භාණ්ඩාගාරික පවිත්‍රා වන්නිආරච්චිත් ඔතනින් එනවා. එතුමියගේ පක්ෂ බල මණ්ඩලය රැස්වුනාම ඔවුන් එක හඬින් කිව්වේ ජනාධිපතිවරයාට සහාය දිය යුතුයි කියලා. ඇයට ඒ හඬට ඇහුම්කන් දෙන්න වෙනවා.
ධම්මික පෙරේරා පොදු ජන පෙරමුනේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනාම දැන් ඔය ඉන්න ඉතාම සුළු පිරිසගෙනුත් බාගයක් ගැලවිලා එනවා.
එහෙම උනොත් පක්ෂයට ඉතිරි වෙන්නේ ප්‍රධාන ලේකම් කියන පත් කරපු සාගර කාරියවසම් විතරයි. මොකද අපි අපේ මතය පක්ෂයේ නායකයාට කිව්වා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියෙත් පක්ෂයේ ප්‍රධාන ලේකම්ට වඩා තදින්ම වෙනස්ම මතයක.
සුගිය සතියේ 92යි. දැන් 100ය පැනලා. තවම පක්ෂයට මතය වෙනස් කරගන්න කාලය තියනවා… ඇමති කාංචන විජේසේකර කීවේය.
මේ පක්ෂය තුළ ඇතිවන බිඳවැටීම නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතය හැදීම සදහා දැරූ උත්සාහයේ ප්රතිඵලයක්දැයි මධ්‍ය ඇමති කාංචනගෙන් ඇසූ විට ඔහු පැවසුවේ දේශපාලන මණ්ඩලයට මෙවැනි යොජනාවක් පක්ෂයේ මහ ලේකම් විසින් කරන්නේ කාගෙන් හෝ විමසා ද කාගේ හෝ මතයක් නියෝජනය කරමින්දැයි තමන් නොදන්නා නමුත්, එය කාගේ හෝ දේශපාලන අනාගතය සැදීම සඳහා කරන වැඩපිළිවෙළක් නම් පසුගිය දින 05 තුළ එය අසාර්ථක උත්සාහයක් බව ඔප්පු වුන බය.
පක්ෂ නායකයාගේ මතයට හෝ ඇහුම්කන් නොදී ධම්මික පෙරේරා නම් කළ පසු පක්ෂයේ ඉතිරි ටිකත් ගැලවෙන බව කී ඇමතිවරයා එවැනි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීමට පක්ෂයට ඇති අයිතිය කුමක් දැයි ඔහු විමසා සිටියේය.







