ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සභාගත කිරීම තවදුරටත් ප්‍රමාද වන බව වේ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අද (28) පාර්ලිමේන්තුවට පැවසීය.
පනත ගෙන ඒම දින නියමයක් නොමැතිව ප්‍රමාද කිරීම විවිධ පාර්ශ්වයන්ට ඔවුන්ගේ ගැටලු සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මග පාදනු ඇතැයි ද ඔහු කීවේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අදාළ සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් පසුව බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීමට විරුද්ධ විය හැකි නිසා ජනතාව මර්දනය කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ගෙන එන බවට මහජන මතයක් ඇති බව කී ඇමතිවරයා රජය කිසිවිටෙකත් මහජනතාව අපහසුතාවයට පත්වන කිසිදු නීති සම්පාදනයක් ඉදිරිපත් නොකරන බවට සහතික වුනේය.
අමාත්‍යවරයා කීවේ මෙසේය.
”මෙම පනත් කෙටුම්පත පිළිබඳ ඕනෑම යෝජනාවක් ලිඛිතව ඉදිරිපත් කිරීමටත්, ඕනෑම පාර්ශ්වයකට පැමිණ අපි මුණගැහිලා මේ පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඉඩකඩ විවෘත වෙලා තියෙනවා. මේක හදිසි කරලා ඉදිරිපත් කරන්නේ නෑ . ඕන තරම් කාලයක් දෙන්නම්. ඕනෑම පාර්ශ්වයකට ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්නත් එවැනි පුළුල් සාකච්ඡා වට කිහිපයකින් පස්සේ සියලු දෙනාග අදහස් විමසලා අවශ්‍ය සංශෝධන කිරීමෙන් පසුවයි මේ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ”







