දිනසේන රතුගමගේ –
මන්නාරම “සතොස” සමූහ මිනී වළේ කැණීම් කටයුතු අවසන් කොට ඇතත් එම වළ පිහිටි ප්‍රදේශය ස්කෑන් පරීක්ෂණයකට ලක් කරණ ලෙස මන්නාරම මහේස්ත්‍රාත් එස්.සාජිත් කැණීම් බාර නිලධාරීන්ට ඊයේ ( 8 ) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ මන්නාරම සතොස සමූහ මිනී වළ සම්බන්ධයෙන් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමය විසින් ගොණු කොට තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීය.
සතොස සමුහ මිනී වළේ තවත් මිනිස් අස්ථි කොටස් ඇති බවට එම සංගමය විශ්වාස කරන බව එම නඩුව ගොණු කළ පිරිස අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉල්ලා ඇත්තේ දැනට වසා දමා ඇති එම සමූහ මිනී වළේ කැණීම් කටයුතු යළි ආරම්භ කරණ ලෙසයි.
කැණීම් කටයුතු සඳහා මුදල් නොමැතිකමත් සමූහ මිනී වළ මන්නාරම නගරයේ ඉතාම අඩු ඉඩක් ඇති ස්ථානයක පිහිටීම නිසාත් උද්ගත වන ප්‍රායෝගික ප්‍රශ්න නිසා එම ස්ථානයේ කැණීම් ආරම්භ කිරීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම උචිත බවට විනිසුරුවරයා නියෝගයක් ලබා දෙන ලදී.
එම ස්කෑන් පරීක්ෂණ කටයුතු ජෙයෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ අධීක්ෂණය හා ප්‍රධානත්වයෙන් සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කැණීම් බාර නිලධාරීන්ට නියෝග කළේය.
මන්නාරමේ එමිල් නගරයේ සංවර්ධන කටයුත්තක් සඳහා පස් අවශ්‍ය වූ අවස්ථාවක 2018 මැයි මස 25 වෙනිදා පස් රැගෙන එන ලද්දේ මන්නාරමේ සතොස තොග ගබඩාව අසල පැරණි ගොඩනැගිල්ලක් කඩා දැමූ බිමකිනි.
පස්ගොඩක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඇටකටු කැබලි ඇති බව දුටු කොන්ත්‍රාත්කරුවෝ මන්නාරම පොලීසියට ඒ බව පැමිණිලි කළහ.
ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව එම ස්ථානයේ කැණීම් ආරම්භ කළ අතර මිනිස් ඇටසැකිළි 239 ක් එහිදී හමු විය.
ඉන් 18 ක් වයස අවුරුදු 18 ට අඩු ළමයින්ගේ බවටද තොරතුරු අනාවරණය විය.
සතොස මිනී වළ හෑරීමේ කටයුතු ඉතා අසීරු අඩියකට පත්වූයේ එම ස්ථානය අවට ස්ථිර ගොඩැනැගිලි විශාල සංඛ්‍යාවක් ඉදි කොට තිබීම නිසාය. පසුව අධිකරණ නියෝගයක් මත හාරණ ලද එම මිනීවල පස් දමා වසා දැමීමට පියවර ගන්නා ලදී.
යළි ඒ පිළිබඳව යළි අවධානය යොමු වී ඇත්තේ එම මිනී වල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙම නඩුව නිසාය.
මෙම නඩුව යළිත් සැප්තැම්බර් මස 16 වෙනිදා විභාගයට ගැනීමට නියමිතය.







