සූරියවැව නුවන් ජයසේකර –
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්රීඩකයෙක්වූ සචිත්ර සේනානායකට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ ගොනු කර ඇති නඩුව සඳහා අධිචෝදනා බාර දිමට විත්තිකාර සචිත්ර සේනානායකට සැප්තැම්බර් මස 25 වන දින අනිවාර්යෙන්ම මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ටිකිරි කේ.ජයතිලක මහතා අද (09) නියෝග කලේය.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන සචිත්ර සේනානායකට එරෙහිව නීතිපති වරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබූ අතර ඊට අදාල අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා නඩුව අද (09) හම්බන්තොට මහාධීකරණය හමුවේ කැදවනු ලැබීය. එහිදී විත්තිකාර සචිත්ර සේනානායක අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ බිරිය නීතීඥ වරුන් සමග අධිකරණයේ පෙනි සිටියාය.
විත්තිකරු මේ වන විදෙස්ගතව සිටිනබව නිතීඥවරයා අධිකරණය දැන් වු අතර ඉදිරිපත් වු කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරු වරයා විත්තිකරු මීලග දිනයේ අනිවාර්යෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියම කෙරුණි.
2020 වසරේ නොවැම්බර් මස 21 සහ 22 වනදා අතර කාලසීමාව තුළදී මුරුසී දිවයිනේදී හා හම්බන්තොටදී පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ.
ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්” already spoke to the management. You will get games, and you have to give something for them too ok” යනුවෙන් කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට සචිත්ර සේනානායකට එරෙහිව එල්ලකර ඇති අධි චෝදනාවේ සඳහන් කර ඇත.
ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 5 (ඇ) වගන්තිය උල්ලංඝණය කිරීමෙන් “ක්‍රීඩාවල දූෂණය“ යන වරද සිදුකළ බැවින් එකී පනතේ 09 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට අධිචෝදනාවේ දක්වා තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්ර සේනානායක අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයේදී එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධනගේ මෙහෙයවීම යටතේ සචිත්ර සේනානායකට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කිරිම සිදුකර තිබේ.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ ඉතිහාසයේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.







