හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනියවන ඩේසි ෆොරස්ට් ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුව ජූලි මස 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (30) දින නියම කළේය.
අද එම නඩුව කැඳවූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක නඩුවට අදාල ලේඛන කීපයක් අධිකරණයට ඉදිරිපත් කළේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයේ කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය ලේඛණ සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු ලයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබා දෙන ඉල්ලා සිටියේය.
ජනාධිපති නීතිඥවරයා පවසා සිටියේ සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා මෙම ලේඛන හා සාක්ෂි සටහන් අවශ්‍ය බවය.
ඒ අනුව ලයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව සලකා බලා විත්තියට ලබා දිය හැකි ලේඛන ලබා දෙන්නට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට දැන්වූයේය.
ඉන් අනතුරුව නඩුව ජුලි මස 11 වැනිදා කැඳවීමට විනිසුරුවරයා දින නියම කළේය. රුපියල් මිලියන 73කට වඩා වටිනා වත්කම් හා දේපල අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සඳහන් කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට සහ එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.







