අමායා උඩුවැරැල්ල –
තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක, අද දහවල් එහි අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් තිබූ අතරතුර ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකු පමණ මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඊට අමතරව මෙම සිදුවීමෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් හත් දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වනවා.
නගරයේ යුරෝපීය කොටසේ මධ්‍යම ඉස්තාන්බුල් හි බෙසික්ටාස් දිස්ත්‍රික්කයේ තට්ටු 16 කින් යුක්ත ගොඩනැගිල්ලක බිම් මහලේ ගින්න ආරම්භ වී ඇති අතර ඒ අවස්ථාවේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් තිබී ඇති බව එරට ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කල නිවේදනයක සඳහන් වනවා. X හි පණිවිඩයක් සටහන් කරමින් තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මේ සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දක්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගින්නෙන් විපතට පත් වූවන් ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්බන්ධ වී සිටි පුද්ගලයන් බවට විශ්වාස කරන බවයි. සමාජ ශාලාවේ කළමනාකරුවන් සහ ප්‍රතිසංස්කරණ භාරව සිටි එක් අයෙකු ඇතුළුව පුද්ගලයන් පස් දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා බලධාරීන් විසින් රඳවාගෙන ඇති බව එරට අධිකරණ අමාත්‍යවරයා පැවසූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.







