ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත් අධිකරණ සහ විදේශ කටයුතු ඇමතිවරුත් විසින් ඒකාබද්ධව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් හඳුන්වාදීමට කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අදාළ කමිටුව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙනු ඇත.
ජාතික අවශ්‍යතාවයන් පුරෝකථනයකින් අනතුරුව මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතීන්/නිර්දේශ සැලකිල්ලට ගනිමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් සකස් කිරීමට මෙම කමිටුවක් පත් කරනු ලැබේ.
දැනට පවතින ත්‍රස්තවාදය සම්බන්ධ නීති රීතිවල අඩුපාඩු නිවැරදි කිරීමටත්, ත්‍රස්තවාදයේ සහ ප්‍රචණ්ඩ අන්තවාදයේ නව මානයන් සම්බන්ධයෙන් විධිවිධාන හඳුන්වා දීම පිණිසත් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
දැනට පවතින ත්‍රස්ත විරෝධී නීතිවල දුර්වලතා මගහරවා ගැනීමත් එවැනි ක්‍රියාවලට මුහුණ දීමත්, නීතිය බලාත්මක කිරීමත්, විමර්ශන හා අධීක්ෂණ මෙවලම් තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම නීති සම්පාදනයේ අරමුණ බව රජය කියයි.







