කූඨ ලේඛනයක් සකස් කර බැංකුවකින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන එම මුදල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටිය දී අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ මූල්‍ය අපරාධකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැත්තාට අනුරාධපුර මහාධිකරණය විසින් අද (25) බරපතළ වැඩ සහිතව වසර 07ක සිරදඬුවමක් නියම කර තිබේ.
බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිත කරන ලේඛනයක් කූඨ ලෙස සකස් කර මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේ වසර පහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් විසින් ලබා දී තිබිණි.
ඊට අමතරව, මෙම නඩුවේ පැමිණිලිකාර වෛද්‍ය එස්.ඩබ්.ඒ. ගාමිණී විමලානන්දට මුදලින් රුපියල් ලක්ෂ හතළිහක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස දහයක සිර දඬුවමක් නියම කළේය.
විත්තිකාර අතුල තිලකරත්නට එරෙහිව පැවති මෙම නඩු විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අදාළ නීති කෘත්‍යය අනුරාධපුර මහාධිකරණය හමුවේ අද (25) යළි කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම නියෝගය නිකුත් කර ඇත.







