විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනාවලට විරෝධය පා දින 17ක් තිස්සේ ක්‍රියාත්මක සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනා, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියා සිදුකිරීම, හිඟ දිරි දීමනා ලබාදීම සහ නියමිත උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 16ක් මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ඉකුත් සැප්තැම්බර් 04 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය. .
එහි දෙවැනි පියවර ලෙස පසුගිය 17 සහ 18 දෙදින ලෙඩ නිවාඩු දැමූ විදුලි සේවකයින් කොළඹ කොටුවේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබුණි.
මෙවන් පසුබිමක විදුලිබල වෘත්තීය සමිති අද (21) ප්‍රකාශ කළේ සිය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් තිව්ර කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන ක්‍රියාවලට හා ටෙන්ඩර් පටිපාටිවලට සම්බන්ධවීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කරන බවය.
වෘත්තීය සමිති මෙම ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කඩාකප්පල්කාරී ලෙස හැසිරෙන ලංවිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව දැඩි තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කර තිබිය දී ය.







