සූරියවැව නුවන් ජයසේකර –
-
දූෂණ චෝදනා තියන අයත් මේ තනතුරට අයදුම් කරමින් මුදල් වියදම් කරනවා… මේක ව්‍යාපාරයක් නොවෙයි… දෙවියන් බුදුන් වෙනුවෙන් කැප වුන උත්තරීතර රාජකාරියක්… කිරිවෙහෙර නා හිමියෝ බස්නායක නිලමේ ධූර අපේක්ෂකයින්ට දන්වති…
-
දූෂිත චෝදනාවන්ට ලක් වුවන් නම් වැඩ බලන බස්නායක නිලමේ තනතුරටවත් පත් කරන්න එපා. අපේ සහාය දෙන්නේ නෑ- කපු මහත්වරු කියති…
-
දූෂිත චෝදනා තියන පුද්ගලයෙක් පත් කළොත් ඒ සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වීමේ පූර්ණ අයිතිය තියනවා… බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසයි…
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරය සඳහා මේ දිනවල පාර්ශව කිහිපයක් අතර සීතල යුද්ධයක් ආරම්භ වී තිබේ. ඒ මෙතෙක් එම ධුරය දැරූ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ ධුර කාලය අවසන් වීමත් සමග දැනට පුරප්පාඩු වී තිබෙන එම ධුරය සඳහා පත්වීමටය.
මේ වන විට මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් ඇතිව ඇති අතර වැඩ බැලීමේ බස්නායක නිලමේ ධුරය අපේක්ෂාවෙන් කටයුතු කරන කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද සමාජය තුළ දැඩි විවේචන එල්ලව තිබේ.
එමෙන්ම මෙම බස්නායක නිලමේ ධුරය ලබා ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් අපේක්ෂකයන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් සිටින බවද වාර්තා වේ.
කෙසේ නමුත් අප බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී සේනාරත්නෙගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු මෙලෙස පැවසීය.
“මේ වන විට කතරගම බස්නායක නිලමේ ධුරය පුරප්පාඩුව තමයි තිබෙන්නේ. මෙහි ඉදිරි කටයුතු සිදුකරගෙන යාම සඳහා කඩිනමින් බස්නායක නිලමේ වරයකු පත් කිරිමයි මගේ වගකීම වෙන්නේ. ඒ නිසා කතරගම මහ දේවාලය සඳහා නිත්‍ය බස්නායක නිලමේ වරයෙකු නිල වරණයෙන් පත් කරගන්නා තුරු ඉතාමත් කෙටි කලක් සඳහා වැඩ බලන බස්නායක නිලමේවරයෙකු පත් කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
ඒ සඳහා මේ වන විටත් ඉල්ලුම් පත්‍ර දහයකට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙනවා. ඒවා පරික්ෂා කර බලා සුදුසු කෙනෙකු වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කිරීම තමයි මගේ වගකිම වෙන්නේ.
එම පත් කිරීමේදී කාට හෝ චෝදනා තිබෙනවා නම් හෝ එම පත් කිරිමට විරුද්ධ නම් ඕනෑම කෙනෙකුට පුළුවන් අධිකරණයට ගිහින් කරුණු වාර්තා කරන්න. මේ අවස්ථාවේ අප කරන්නේ වැඩ බැලීම සඳහා තාවකාලිකව බස්නායක නිලමේවරයා සඳහා සුදුස්සෙකු තෝරා පත් කරගැනීම පමණයි.
ඉතින් එම පත් කිරීම ආවට ගියාට කරන්නේ නෑ. අප ඉතාමත් කෙටි කලක් තුළ බස්නායක නිලමේවරණය පත්වා කතරගම දේවාලයට නිත්‍ය බස්නායක නිලමේ වරයෙකු පත් කිරීමට කටයුතු කරනවා.” යැයි පැවසීය.
මේ සම්බන්ධයෙන් අප කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නා හිමියන්ගෙන්ද විමසීමක් කළෙමු. එහිදී උන්වහන්සේ මෙලෙස පැවසූහ.
“කතරගම හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ධුර කාලය මේ වන විට අවසන් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට එම ධුරය සඳහා ඉදිරිපත් වීමට පාර්ශව කිහිපයක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව දැනගන්න ලැබුණා. ඒ වගේම ඇතැම් අය මුදල් වියදම් කරමින් මේ තනතුරට එන්න උත්සාහ කරමින් සිටිනවා. ඇතැම් අය මටත් දුරකතනයෙන් කතා කර සහාය ඉල්ලලා තියෙනවා. “
“මේ වෙලාවේ සියළුම දෙනාට මම එක් කාරණයක් මතක් කරන්න ඕනි. මේ බස්නායක නිලමේ ධුරය කියන්නේ දෙවියන් බුදුන් එක්ක කටයුතු කරන තණතුරක් මිසක් මේක ව්‍යාපාරයක් නෙමේ. මේ වන විට මේ තනතුර සඳහා විවිධ චෝදනා එල්ලවී තිබෙන අය පවා ඉල්ලුම් කර තිබෙනවා. මේක ගෞරවණීය තනතුරක්. ඒ නිසා එම තනතුර දිය යුත්තේ ගෞරවනීය ලෙස එය ඉටු කරන්න පුළුවන් පුද්ගලයෙකුට මිසක් ජාවාරම් කරුවන්ට හෝ චෝදනා එල්ලවි සිටින අයට නෙමේ.
අනික තමා කතරගම මහා දේවාලය ආරම්භ කළ අවස්ථාවේ දුටුගැමුණු මහ නිරිදුන් විසින් මේ දේවාලය ඉරහඳ පවතිනාතාක් කල් පවත්වාගෙන යාම සඳහා සකස් කළ දේවාල රාජකාරී සන්නට අනුව දේවාලය සඳහා බස්නායක නිලමේවරයෙකු පත් කරගැනීමේදී නිලමේ වරයා නම් කිරීමේ වගකීම පැවරෙන්නේ කතරගම කිරිවෙහෙර රජමහා විහාරයට. නමුත් මේ වෙලාවේ තාවකාලික බස්නායක නිලමේ වරයෙකුවයි පත් කරන්න කටයුතු කර තිබෙන්නේ. එහි සම්පූර්ණ වගකීම හා බලය තියෙන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාටයි.
නිත්‍ය බස්නායක වරයෙකු පත් කරගැනීමේ නිලවරණයේදී තමයි කිරිවෙහෙර ඇතුළු ජන්දය හිමි හිමිවරුන් ඇතුළු පිරිසට වගකීම තියෙන්නේ සුදුස්සෙකු තෝරා ගන්න. ඒ නිසා මේ වෙලාවේ පළතුරු වට්ටි, අටපිරිකර අරගෙන මගෙන් සහාය ඉල්ලගෙන මෙහෙට කිසිකෙනෙක් එන්න නම් එපා.” යැයි උන්වහන්සේ පැවසූහ.
මේ වන විට මෙම තනතුර සඳහා විවිධ අය සිය හිතවතුන් මෙම තනතුර සදහා ඇතුළත් කර ගැනීමට මුදල් ලක්ෂ ගණනින් වියදම් කරමින් සිටියි.
කෙසේ නමුත් දේවාලයේ කපු මණ්ඩලයේ බහුතර දෙනෙකුද පැවසුවේ දෙවියන් බුදුන් වෙනුවෙන් කැප කිරිම් කරන්න බැරි විවිධ චෝදනා එල්ලව ඇති අයෙකු මෙම තනතුර සදහා පත් කර එවීමට කටයුතු කළහොත් පත්වෙන බස්නායක නිලමේවරයාට සිය සහාය ලබා නොදෙන බවය.







