සියලු දිස්ත්‍රික් ලේකම්වරු සෙනසුරාදා (20) කොළඹට කැදවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තීරණය කර තිබේ. ආපදාවට ලක් වූ ජනතාවට කඩිනමින් සහන සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳ සමාලෝචනය සහ මේ වනවිට මතුවී ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම කැඳවීමේ අරමුණ වනු ඇතැයි වාර්තා වේ.
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම, යළි පදිංචි කිරීම, ජීවනෝපාය මාර්ග ගොඩනගා ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් දියත් කර ඇති රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීය කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතය. මෙම වැපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී මතුවන ගැටලු ගණනාවක් ඇති බවත්, ගංවතුරට හසු වූ නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ලබා දීමේදී ගැටලු මතුව ඇති බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.
දත්ත රැස් කිරීමේදී සහ යාවත්කාලීන කිරීමේදී ගැටලු මතුව ඇති බැවින් එම කටයුතු සඳහා විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාවයද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු ව තිබේ.
මේ තත්ත්වයන් පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඍජුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් එදින ප්‍රශ්න කරනු ඇතැයි දැනගන්නට ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා පුද්ගලයන් මිලියන 2.2ක් බලපෑමට ලක්ව සිටින අතර පූර්ණ නිවාස හානි 6,164ක් සහ අර්ධ නිවාස හානි 112,110ක් සිදුව තිබිණි. සුරක්ෂිත මධ්‍යස්ථාන 796ක, පුද්ගලයන් 72,911ක් (2025.12.14) තවමත් රැඳී සිටින බව ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.







