පාර්ලිමේන්තු සැසි වාරයක් අවසන් කිරීමෙන් අනතුරුව යළි නව සැසිවාරයක් පාර්ලිමේන්තුවේ ආරම්භ කිරීමේ දි ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කිරීමේ සම්ප්රදාය අනුව ඉදිරි කාල වකවානුව තුළ රටක් ලෙස ගොඩනැගෙන ආකාරය පිළිබඳ ජනාධිපතිවරයාගේ දැක්ම රටට ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපතිවරයා විසින් නිමා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
ඒ අනුව නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය එළැඹෙන පෙබරවාරි 08 වන දින පෙ.ව 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මේ වනවිට නිකුත් කර තිබේ.
නව සැසි වාරය අරඹමින් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති මාලාව ප්‍රකාශ කරන බවත්, 75වන නිදහස් දින සැමරුමත් සමඟ රට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති, නව නීති හා පනත් සහ 2023-2048 කාල සීමාවේ නිදහසේ සියවස් සැමරුම දක්වා රටේ උන්නතිය වෙනුවෙන් පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි..







