චීන ජනාධිපති ෂී ජින් පිං ගේ මෑත රුසියානු සංචාරය ඉන්දු-රුසියානු මූලෝපායික සබඳතාවලට හානියක් වනු ඇතැයි මාධ්‍ය විශේෂඥයින් කරන ප්‍රකාශයන් ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් අලිපොව් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ෂී ජින් පිංගේ රුසියානු සංචාරය පිළිබඳව විවිධ ප්‍රකාශයන් කරමින් විශ්ලේෂණ රාශියක් පවතින බවයි.
“විවිධ විශේෂඥයින් ෂී ජින් පිංගේ රුසියානු සංචාරයේ ප්‍රතිඵල ගැන විශේලේෂණය කරනවා.. විශේෂයෙන් ඉන්දියානු කීර්තිමත් විශේෂඥයින් රුසියානු චීන සබඳතා, රුසියා ඉන්දියා උපායමාර්ගික එකමුතුකමට හානි කරාවි යැයි හීන දකිනවා.. ඒක ප්‍රාර්ථනා සහගත සිතුවිල්ලකට විතරක්ම සීමා වෙනවා..” ඔහු සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබිණි.
චීන ජනාධිපති ෂී ජින්පින් මාර්තු 20 සිට 23 දක්වා තෙදින රුසියාවේ සංචාරයක නිරත විය. එහිදී චීන ජනාධිපතිවරයා, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හමු වූ අතර, යුක්රේන යුද්ධය මධ්‍යයේ වුව ද ඔවුන්ගේ ජාතීන්ගේ සමීප සබඳතා ඉස්මතු කළ රාජ්‍ය සංචාරයක් ලෙස හින්දුස්ථාන ටයිම්ස් වාර්තා කරයි.