චීන පොහොර සමාගම විසින් ශාක නිරෝධායන මධ්‍යස්ථානය වෙත එන්තරවාසියක් එවා ඇති බවත් ඊට කලබල විය යුතු නැති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.
මේ වන විට එය අධිකරණයට ගිය කටයුත්තක් බව ද ඒ සම්බන්ධයෙන් ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද කී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරි දින තුන හතර ඇතුළත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති බව කීය.
ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය ලෝකයේ රටවල් 183 මඟ එක්ව ජාත්‍යන්තර නිරෝධායන සම්මුතීන්ට අනුකූලව කටයුතු කරන බව කී ආචාර්ය අජන්ත ද සිල්වා අදාල සම්මුතියේ සඳහන් පරිදි ඒ ඒ රටේ ස්වෛරීභාවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට හැකියාව ඇති බවද ඒ අනුව ශ්‍රි ලංකාවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානය කටයුතු කරන බවද කියා සිටියේය
චීන තානාපති වරයා ඊයේ 8 කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ගියේ ඇයිද යන්න තමන් නොදන්නා බවත් ඇතැම්විට පොහොර තොගේ සම්බන්ධ සාකච්ඡා කිරීමට විය හැකි බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අවස්ථාවේ අදාල නැවේ ඇති පොහොර තොගය කිසිදු හේතුවක් මත ලංකාවට ගොඩ බෑමට කටයුතු නොකරන බව ද කීය.
අදාල පොහොර තොගය හැර පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින කාබනික පොහොර ශ්‍රී ලංකාවට ලබාදීමට කැමති චීනය ඇතුළු සෙසු රටවල් වල කාබනික පොහොර සාම්පල ගෙන්වා ශාක නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලද යන්න පරීක්ෂා කොට ඊට අදාලව පමණක් ගෙන්වීමට කටයුතු කරන බව ද ධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.







