18 වැනිදා රාත්‍රියේ ප්‍රචාරක කටයුතු අවසන් කළ පසු ඉතිරි දවස් දෙක තුළ කුමන්ත්‍රණකාරී කණ්ඩායම් යොදවා ගැටුම් හැදීමේ අවකාශයක් ඇති බවට සැක පහළ වන බවත් ගෝඨාභය රාජපක්‍ෂ ගෙන එන්න පාස්කු කුමන්ත්‍රණ සිදුකළ පුද්ගලයින්ට එවැනි හැකියාවක් ඕනෑවටත් වඩා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා පැවසුවේය.
අද කොළඹ දී මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ජනාධිපතිවරණයට දින කීපයක් තිබිය දී ජාතික ජන බලවේගය වෙත එල්ලවෙමින් ඇති චෝදනා සමූහයකට එම බලවේගය වශයෙන් ජනතාවට පිළිතුරු සැපයීම සඳහාය.
එහිදී ටිල්වින් සිල්වා මාධ්‍ය අමතමින් මෙසේ සිය දීර්ඝ පැහැදිලි කිරීම කළේය.
ජනාධිපතිවරණයට තව දින කිහිපයක් තිබියෙදී, විරුද්ධ දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ ප්‍රතිපත්ති පැහැදිලි කරනවා වෙනුවට රට බියවද්දන්න විවිධ උපක්‍රම යොදමින් සිටිනවා. ඉතාමත් අශික්‍ෂිත, පට්ටපල් බොරු කියමින්, ප්‍රචාරක කටයුතුවල අවසන් දිනවලදී මේ තත්ත්වය වඩාත් වර්ධනය කිරීමට සැලැසුම් කර තිබෙනවා. ඔවුන් ප්‍රචාරය කරන අවලාදවලට පිළිතුරු දෙන අතර, සමහර අවස්ථාවල අධිකරණ ක්‍රියාමාර්ග පවා අනුගමනය කළා.
මේ දිනවල සමාජගත කරන්නට උත්සාහ කරන බොරු විශාල ප්‍රමාණයක් අතුරින් කිහිපයක් ගැන අවධානය යොමු කරන්නම්.
-
මාස හයෙන් රට වැටෙනවා..
ජාතික ජන බලවේගයේ අනුර සහෝදරයා ජයග්‍රහණය කළ පසු මාස හයක්වත් රට ගෙන යන්න බැරි බවත්, විශාල ලේ වැගිරීම් සිදු වන බවත් කියනවා. මෙයට කලින් සියයට තුන ගත් අයට දිනන්න බැහැ කියමින් ඉඳලා දැන් දිනන බව පිළිගනිමින්, ගෝඨාභය රාජපක්‍ෂගේ කාලයේ දේවල් සිහිගන්වමින්, මඩ, අවලාද ප්‍රචාරය කරනවා.
අපි දිනන්නේ මාස හයෙන් රට වට්ටාගන්න නොවෙයි. අපට ප්‍රතිපත්ති සහ සැලසුම් තිබෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න විශාල මහජන බලයක් අප වටා ගොනු වී තිබෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව හදන්න මහජනතාව ඉන්නවා වාගේම ඒ ආණ්ඩුව රකින්න මෙන්ම රට ගොඩනඟන්නත් විශාල ජන පවුරක් එකතු වී සිටිනවා.
අනුර දිසානායක සහෝදරයා කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂ වාගේ බොල් චරිතයක් නොවෙයි. අවුරුදු විසිහතරකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ හිඳිමින්, තම හැකියාව සහ දක්‍ෂතාව පෙන්වූ අයෙක්. ඒ වාගේම විවිධ වගකීම් දරා තිබෙනවා. තව පැත්තකින් ඔහු තනි, හුදෙකලා චරිතයක් නොවෙයි. ඔහු වටා විශාල සංවිධානාත්මක බලවේගයක් තිබෙනවා. ඒ මඟින් දැන් වට්ටා තිබෙන රට ගොඩ ගන්න ශක්තිමත්, ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ නිසා කවුරුවත් මාස හයක් සම්බන්ධයෙන් බිය පැතිරවීම් ගැන බිය විය යුතු නැහැ.
-
පෝලිම් යුගයක් ඇති වේවි
රටේ පෝලිම් යුගයක් ඇති කළේ 2015-2019 කාලයේ රනිල් වික්‍රමසිංහ විසින් විශාල ලෙස විදේශ ණය ගැනීමෙනුයි. අනෙක් පැත්තෙන් පෝලිම් නිර්මාණය කළ මූලික වගකිවයුත්තන් මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවේ හිටියා. දැන් ඔවුන් කොහෙද ඉන්නේ? කොටසක් සජිත් ළඟත්, අතිවිශාල පිරිසක් රනිල් ළඟත් සිටිනවා.
ඒ අතරේ අනුර දිසානායක සහෝදරයා වටා ජනතාව විශාල වශයෙන් එක් වී අවසන්. පසුගිය මැතිවරණයෙන් සියයට තුනට වැටුණත්, අවුරුදු පහක් යන්නත් පෙර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හැකි ආකාරයට කලබල නොවී සංවිධානය කරමින් ආවා. අපේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කිළිටි කර ගන්න, අවලස්සන කර ගන්න, කළු පැල්ලම් ඇති කර ගන්න අප කිසිසේත් සූදානම් නැහැ. ඡන්දයෙන් පසුව මාලිමාවට ඡන්දය දුන් අයත්, අනෙක් පක්‍ෂවලට ඡන්දය දුන් අයත් අපි ඔක්කොම එකතු වී රට ගොඩනඟනවා.
-
මැතිවරණයෙන් පසසේ ප්‍රචන්ඩ ක්‍රියා ඇතිවේවි
මෑත කාලයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා අවම වී තිබෙනවා. එහෙට මෙහෙට පනින ගෙඹි මන්ත්‍රීවරුන් අරගෙන ආණ්ඩු පිහිටුවන කැත දේශපාලනය අවසන් කරන්න යන ගමනේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට ඉඩ නොමැති බව අපි සහතික කරනවා.
ඒ වාගේම සන්නද්ධ සේවා ආරක්‍ෂක අංශවලට අපි අවධාරණය කරන්නේ ඔබ ඔබේ රාජකාරිය නිසි පරිදි ඉටු කරන්න. පොලිසියට ඇඟිලි ගහන්නේ නැති, බලපෑම් නොකරන ආණ්ඩුවක් හැදෙනවා. අපි අමාරුවෙන් දිනා ගන්නා ජයග්‍රහණය කැත කරන්න අපට ඕනෑ නැහැ.
නමුත්, සතුරන් දිගින්දිගටම ප්‍රචාරය ගෙන යන ගැටුම් ඇති වෙනවා යැයි කියන තත්වය ගැන අපි අවධානය යොමු කරනවා. ඔවුන්ම රටේ කලබල ඇති කර යම් ප්‍රචාරයක් කරාවිද කියන සැකය අපට තිබෙනවා. . යම් කෙනකු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන මතයක් ප්‍රචාරය කරනවා නම්, ඔහුගෙන් ප්‍රශ්න කරන ලෙස අපි පොලිසියට අවධාරණය කරනවා. අප දැනටමත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා. බියවැද්දීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස අවධාරණය කරනවා.
-
බුද්ධාගමට තියන තැන නැතිකරනවලු
බුද්ධාගමට තියෙන තැන නැති කරන්න යනවා කියලාත් පට්ටපල් බොරුවක් කියනවා. අපේ රටේ ජනතාව අතර ආගම් කිහිපයක් තිබෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි යන ආගම් අතර බෞද්ධාගම ප්‍රමුඛස්ථානයේ තිබෙන එක කිසිවකුටත් ප්‍රශ්නයක් නැහැ.
අපේ පාලනයක් යටතේ පෙරහැර නවත්වන බවට තිස්ස අත්තනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැනටමත් අපි නඩු පවරා තිබෙනවා. මහරගම දී අපි පැවැත්වූ ජාතික සංඝ සම්මේලනයට භික්‍ෂුන් වහන්සේලා දහස් ගණනක් වැඩමකොට අපට ආශීර්වාද කළා. ඒ වාගේම අස්ගිරි, මල්වතු පාර්ශවයේ මහා නායක හිමිවරුත්, රාමඤ්ඤ සහ අමරපුර නාකායන්හි මහානායක හිමිවරුන් අපට ආශීර්වාද කර තිබෙනවා. මල්වතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවෝ ඉතා පැහැදිලිව අපට කීවේ, රටට වෙනසක් කරන්න ඕනෑ කියලා. හැමදාමත් බුද්ධාගමට හානි කළ අයගෙන් තමයි, බුද්ධාගම රැකගන්න වෙලා තියෙන්නේ. දළදා මාලිගාව වටේ වැලි කොට්ට ගහලා, අඩ නිරුවතින් නටන රුසියානු කාන්තාවන් ගෙනැවිත්, කාර් රේස් පැවැත්වූ මහත්වරුන් අද අපට අවලාද නඟනවා. ඒ වාගේම ගැටඹේ පන්සල වටා කටුකම්බි ගැසූ අය, බෞද්ධාගමට ලෝකය ඉදිරියේ කළු පැල්ලම් ඇති කළ අය දැන් කිඹුල් කඳුළු හෙළනවා. අපි එන්නේ බෞද්ධයකු ලෙස ජීවත් විය හැකි වාගේම අනෙකුත් ආගම් අනුව ජීවත් විය හැකි සාමය, සතුට පිරි රටක් හදන්නයි. හැම දෙනාගේම හෘදය සාක්‍ෂියට අනුව ක්‍රියා කළ හැකි රටක් හදන්නයි අපි එන්නේ.
-
උතුරු නැගෙනහිරට ගිහින් කළු ජූලිය ඇති කරන බව කියන කතා
උතුරු, නැඟෙනහිර සහ කඳුකර ප්‍රදේශවලට ගොස් 83 කළු ජූලිය වැනි තත්වයක් මාලිමාවේ රජයක් යටතේ ඇති වන බවට දෙමළ ජනතාව බියවද්දනවා. එක්සත් ජාතික පක්‍ෂය කළු ජූලිය නිර්මාණය කරලා රට පුරාම සිටි දෙමළ ජනයාට පහර දීලා, ඝාතනය කර දේපළ විනාශ කළ ආණ්ඩුවේ ප්‍රබලයෙක් තමයි, රනිල් වික්‍රමසිංහ. ඒ වාගේම එදා හිටපු අගමැති තමයි, පුතාණෝගේ පියාණෝ. 1981 සංවර්ධන සභා ඡන්දයේ දී යාපනයේ පුස්තකාලයටත් ගිනි තබා ඡන්දය කොල්ලකෑවේ ඒ ගොල්ලෝ. එවැනි ජාතිවාදී අපරාධ කළ අය දැන් බොරුවට කිඹුල් කඳුළු හෙළන්න පටන්ගෙන තිබෙනවා. දෙමළ ජනයාට, බෞද්ධ ජනතාවට වෙන් වෙන්ව බොරු කියමින්, යන කුඩා බංකොළොත් කණ්ඩායමක් ඉන්නේ.
අපේ ජයග්‍රහණයට සිංහල, දෙමළ, මුස්ලිම් රටේම ජනතාව එකතු වන්න ඕනෑ බව අනුර සහෝදරයා යාපනයට ගිහින් කීවා. රනිල් වික්‍රමසිංහ යාපනයට ගිහින් කියනවා, අනුර සහෝදරයා දෙමළ ජනතාවට තර්ජනය කළා කියලා. එයට උතුරේ ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මන්ත්‍රීවරයා පිළිතුරක් ලබා දෙමින්, අනුර සහෝදරයා ජාතිවාදී නොවන බව කීවා. දැන් දෙපැත්තට බෙදිලා ඉන්නේ හැමදාම ජාතිවාදය නිර්මාණය කර විනාශයන් සිදු කළ පිරිසයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ගෙන එන්නත් මේ වාගේම ජාතිවාදී ප්‍රචාර යැව්වා. වෛද්‍ය සාෆි වඳ සැත්කම් කරන බව ප්‍රචාරය කළ අයම දැන් සමාව ගන්නේවත් නැතිව අපට විරුද්ධව බොරු කියනවා. ඔවුන් තමයි, පාස්කු ප්‍රහාරය එල්ල කළේ.
-
දේපල පවරගෙන සහනාධාර කපනවලු
දිළිඳු ජනතාවට ලබා දෙන සහන අපේ පාලනයක් යටතේ කපන බව කියනවා. අනෙක් පැත්තෙන් මධ්‍යම පන්තියේ ජනතාවගේ දේපොළ පවරා ගන්නා බව කියනවා. තව පිරිසක් ජනතාවගේ ස්ථාවර තැන්පතු රජයට පවරා ගන්නා බවත් කියනවා.
අපේ ආර්ථික ප්‍රතිපත්ති පවතින්නේ ව්‍යවසායකයන් නඟාසිටුවමින්, ජාතික ආර්ථිකය ගොඩනැඟීමයි. අපට කිසිසේත්ම එවැනි පවරා ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ.
-
හිතුමතේ අයි.එම්.එෆ් එකෙන් ඉවත් වෙනවලු
හිතුවක්කාරී ලෙස අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වීමක් සිදුවෙන්නේත් නැහැ. මූල්‍ය අරමුදල ලබා දුන් නියෝග බව කියමින්, ජනතාව පටවා තිබෙන විශාල බදු බර සංශෝධනය කරන්න සාකච්ඡා කරනවා. අපි බලයට එන්නේ වට්ටපු රට ගොඩගෙන ජනතාවගේ ජීවිත යහපත් කරන්නයි.
‘පුළුවන්’ කියන රනිල් වික්‍රමසිංහට අපේ රටේ ජනතාවට පාස්පෝට් එක දී ගන්නත් නොහැකි වී තිබෙනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ, අපේ ප්‍රතිපත්ති ගැන අපෙන් අහන්න කියලයි. ඒ නිසා අපේ සතුරන් ප්‍රචාරය කරන බොරු, අවලාදවලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දහඅට වැනිදා රාත්‍රියේ ප්‍රචාරක කටයුතු අවසන් කළ පසු ඉතිරි දවස් දෙක තුළ ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී කණ්ඩායම් යොදවා ගැටුම් හැදීමේ හැකියාවක් තිබේ දැයි අපට සැකයක් තිබෙනවා. ඔවුන් දිගින්දිගටම ගෙන යන ප්‍රචාර හමුවේ අපට එවැනි සැකයක් ඇති වෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ගෙන එන්න පාස්කු කුමන්ත්‍රණ සිදු කළා නම්, මේ වැනි දේවල් කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙන නිසයි.
ආරක්‍ෂක අංශවලට අපි අවධාරණය කරන්නේ වැරැදි කරන ඕනෑම කණ්ඩායමක් නීතිය හමුවට ගෙනැවිත්, ක්‍රියා කරන ලෙසයි. පරාජිතයන් ගෙන යන බියවැද්දීමේ ප්‍රචාරවලට කිසිසේත් හසු නොවන ලෙස අපි ජනතාවට අවධාරණය කරනවා.







