උපේක්ෂා උඩුවැරැල්ල –
ඉරානයේ හමුදා ප්‍රධානීන්ට, න්‍යෂ්ඨික බලශක්ති ව්‍යාපෘතියට මෙන්ම ඉරානය සහ කටාර් රාජ්‍ය අතර බෙදී යන ලෝකයේ විශාලම ස්වභාවික වායු නිධියට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කරමින් ඊශ්‍රයාලය නිර්මාණය කරගත් ගින්න ඔවුන්වම වෙලා ගනු ඇති බවට වන ලකුණු පහළ වෙමිනි. ගාසාවට එල්ල කරන නින්දිත ප්‍රහාර හමුවේ ඒ අසරණ මනුෂ්‍යයින් දරුවන්, ගැහැණුන් මරණය අත් විඳින අන්දම,මරණ බිය අත් විඳින අන්දම ටෙල් අවිව් සහ හයිෆා නගර මේ වනවිට අත් විඳිමින් සිටී.
ඉරාන ප්‍රහාර මිසයිල ප්‍රහාරයක් පමණක් නොවේ. එක මත එක රැළි නගමින් එන ප්‍රහාරක රැල්ලකි. එබැවින් රට මධ්‍යයේ සහ උතුරේ සිටි ඊශ්‍රයාල ජාතිකයින්ට ඊයේ රාත්‍රිය යළිත් මරණයේ බිය මුසු අඳුරු රැයක් වුයේය. සෑම කෙනෙකුම දැඩි අවධානයෙන් සිටිති. මරණ බිය සමග නිදිවර්ජිතව ඔවුන් සිය දුකරථන සමගය. ඔවුන් අනතුරු ඇඟවීමේ උපදෙස් අනුගමනය කළ යුතුය. සයිරන් වලට සවන් දිය යුතුය. බොහෝ ඊශ්‍රායල ජාතිකයින්ට මිනිත්තු 10-15 ක පූර්ව අනතුරු ඇඟවීමක් ලැබේ.
මෙවැනි ජීවිතයක් සඳහා දින ගණනක්, සමහර විට තක්සේරු කළ නොහැකි තවත් දීර්ඝ කාලයක් සූදානම් විය යුතුව ඇති බවට ඊශ්‍රයාල රජය සිය වැසියන් දැනුම්වත් කර ඇත. ඒ ජීවිතය තුළ පාසල් නැත. ව්‍යාපාර නැත. ගුවන් යානා ඇතුළට සහ පිටතට නොයයි. ගාසා වැසියන්ට ඊශ්‍රයාල දේශපාලන උමතුව විසින් කළ හානිය දිට්ඨධම්මවේදනීය කර්මයක් ලෙස ඊශ්‍රයාල වැසියන් මත පතිත වී තිබේ. පාලකයෙකුගේ හෝ දෙදෙනෙකුගේ දේශපාලන බල උමතුව ශිෂ්ඨාචාරයක් විනාශ කරන අයුරු දැක්වූ ලෝක ඉතිහාසය පුනරුච්ඡාරණය වෙමින් ඇත.
ඉරානය විසින් අද (16) අළුයම ඊශ්‍රායලයට එල්ල කරන ලද නවතම ප්‍රහාර රැල්ලෙන් පසුව අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙක් මිය ගොස් තිබේ. මීට පෙර ඊශ්‍රයාල ප්‍රහාරවලින් මධ්‍යම ඊශ්‍රායලයේ පස් දෙනෙකු මිය ගිය බව වාර්තා විය. දින හතරකට පෙර ඊශ්‍රයාල හමුදාව ඉරානයට ප්‍රහාර දියත් කළ දා සිට ඊශ්‍රායලයේ පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි. තවත් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
අද අළුයම ප්‍රහාරයෙන් ටෙල් අවිව් ප්‍රදේශයේ එක් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත. ඇමරිකානු තානාපති කාර්යාලයට ද සුළු හානි සිදුවී ඇත. ටෙල් අවිව්හි සුන්බුන් අතර, තවත් තුවාලකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමිනි. හයිෆා හි විදුලිබල පද්ධතියට ද හානි සිදු වූ අතර කාර්ය මණ්ඩලය තවමත් එය අලුත්වැඩියා කරමින් සිටී.
මේ ප්‍රහාර රැළි පිටින් එල්ල වන්නේ “ඉරානය ඊශ්‍රයාලය වෙත කරන ප්‍රහාරවලට ඉරානයට ගෙවන්නට සිදුවන මිල අධික එකක් වනු ඇතැයි ද ටෙහෙරානය ගිනි තබන බවද ඊශ්‍රයාල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අනතුරු අඟවා ඇති අවස්ථාවකය. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ගැන සඳහන් කරමින් කැට්ස් සිය ටෙලිග්‍රෑම් නාලිකාවේ මෙසේ ලීවේය. “ටෙහෙරානයේ පුරසාරම් දොඩන ඒකාධිපතියා බියගුළු මිනීමරුවෙකු බවට පත්ව තිබේ. ඔහුගේ හැකියාවන් අඩපණ කරන ප්‍රහාරය දිගටම කරගෙන යාමෙන් වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඔහු හිතාමතාම ඊශ්‍රායල සිවිල් වැසියන්ට වෙඩි තබයි. මේ අපරාධයට ටෙහෙරානයේ පදිංචිකරුවන් ඉක්මනින් වන්දි ගෙවනු ඇත ”. එහෙත් ඉරාන ප්‍රහාර නැවතී නැත.
පෙනෙන පරිදි මේ ඊශ්‍රයාලය බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවේ. ප්‍රති ප්‍රහාරය සඳහා ඉරානය නැගී සිටින ආත්ම විශ්වාසය සහිත බලය මේ තරම් ඉහළ වනු ඇතැයි ඊශ්‍රයාලයට තක්සේරුවක් නොතිබුණ බව දේශපාලන විචාරකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ලෝකයෙන් ඊශ්‍රයාලයට එරෙහිව මතුවෙමින් ඇති නොපැහැදීම මේ යුද්ධයේ දී තීරණාත්මක අවස්ථාවකදී ඇමරිකාව ඇතුළු ඊශ්‍රයාලයේ හාම්පුතුන්ට මැදිහත් වීමට ඇති අවස්ථාවන් පවා දුරස් කරමින් ඇති අයුරු ඔවුහු පෙන්වා දෙති. සිය බලවත් හිතවතුන් සෝවියට් රුසියාවට එරෙහි යුද්ධය තමන් සමග ගෙන යනු ඇතැයි විශ්වාස කළ යුක්රේන නායක වොලොඩිමීර් සෙලෙන්ස්කිට වුන දේ නෙතන්යාහුට සිදුවිය හැකි ලකුණු පහළ වෙමින් ඇත.
ඊශ්‍රායලයේ ‘වැදගත් ඉලක්ක’ වෙත තවත් ‘විනාශකාරී’ ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දුන් දිවුරුම අද ඔවුහු ප්‍රායෝගික කළහ. ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සියවන IRNA විසින් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) උපුටා දක්වන ද නිවේදනයක දැක්වෙන්නේ ඊශ්‍රායලයේ වැදගත් ඉලක්කවලට එරෙහිව ඉලක්කගත සහ වඩාත් විනාශකාරී මෙහෙයුම් සම්පූර්ණ විනාශය තෙක් පවතිනු ඇති බවය.

විචාරකයින්ගේ අදහස
ඊශ්‍රායල දේශපාලන විචාරක ඔරි ගෝල්ඩ්බර්ග් උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කර ඇත්තේ මේ සටනෙන් ඊශ්‍රයාලය අත් කරගන්නා පරාජයේ ස්වරූපය ගැනය. ඔරි ගෝල්ඩ්බර්ග් ඉරාන ඊශ්‍රයාල යුද ගැටුම් උත්සන්න වීමෙන් ඇති විය හැකි එක්සත් ජනපද මැදිහත්වීම සහ මේ ගැටුම සම්බන්ධව මධ්‍යස්ථ ඊශ්‍රායල ජාතිකයින්ට හැඟෙන ආකාරය ගැන කතා කර තිබිණි.
“ මේ ගැටුමේ සැබෑ ඉලක්කය පිළිබඳව කිසිවෙකු පැහැදිලි නැති බැවින්, එක්සත් ජනපදය නිසැකවම මෙම අදියරේදී යුද්ධයට සම්බන්ධ වීමෙන් වැලකී සිටිනු ඇති. එය ඉතාම පැහැදිලියි. බොහෝ ඊශ්‍රායල ජාතිකයින් විශ්වාස කරන්නේ රජය යුද්ධය අවසන් කරන ආකාරය ගැන කතා කර නොමැති නිසා, සතුරුකම් අපේක්ෂා කළ හැකි අනාගතයක් දිගටම පවතිනු ඇති බවයි.”
” යුද්ධයේ ප්‍රතිවිපාක සලකා බැලීම සඳහා තවමත් ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන බොහෝ ඊශ්‍රායල ජාතිකයින් ඊශ්‍රායලය ගැටලුවක සිටින බව තේරුම් ගනීවි යැයි මා සිතනවා. කාලය ගෙවී යත්ම, එක්සත් ජනපදය සටනට සම්බන්ධ නොවන බව පමණක් නොව, අනෙකුත් ප්‍රමුඛ ලෝක බලවතුන් ද පිම්මක් පැන සැබෑ සටනේ දී ඊශ්‍රායලය සමඟ එක්වීමට සූදානම් නැති බව පැහැදිලි වනු ඇති.”
ඊශ්‍රායලය තම මුල් ප්‍රහාරයේදී ඉරාන හමුදාවේ ඉහළම ප්‍රධානීන් මරා දැමීමෙන් අනතුරුව ඊශ්‍රයාලය නැවත ප්‍රතිසංවිධානය වීමේ හැකියාව අවතේක්සේරු කිරීමේ ප්‍රතිඵල භුක්ති විඳින බව ද ජාත්‍යාන්තර විචාරකයෝ පෙන්වා දුන්හ.
“ඊශ්‍රායල හමුදාව ඉරාන හමුදාවේ ඉහළම නායකත්වය ඉතා සාර්ථකව ඉලක්ක කර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මරා දැමීමට සමත් වූ පසු ඔවුන් (ඊශ්‍රායල ජාතිකයින්) ඉරාන හමුදාව නැවත සංවිධානය වීමේ හැකියාව අවතක්සේරු කළහ,” එසේ කියන්නේ The Quincy Institute for Responsible Statecraft ආයතනයේ උප සභාපති ට්‍රිටා පාර්සි ය. The Quincy Institute for Responsible Statecraft යනු එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ මිලිටරි මැදිහත්වීමෙන් බැහැරව රාජ්‍ය තාන්ත්‍රික හා සංයමයක් දෙසට මාරුවීමක් වෙනුවෙන් පෙනී සිටින පක්ෂග්‍රාහී නොවන චින්තනයක් සහිත සන්නිවේදන ව්‍යාපෘතියකි. .
පාර්සි පැවසුවේ ඊශ්‍රායලය “ඉරාන අණ සහ පාලනය කඩාකප්පල් කළ” බව ඊශ්‍රායලය විශ්වාස කළ නමුත් එම අදහස “ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කරගැනීමට ඔවුන්ට සිදුවූ බව.ය
දැන් අපට පෙනෙන දෙය නම් “ඉරාන මිසයිල ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතිවල සියලුම ස්ථරවලට විනිවිද යෑමට හැකි බවයි” බවයි, පාර්සි පැවසීය.
මේ අතර හමුදා සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන එලියා මැග්නියර් පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර සතුරුකම් තවත් නරක අතට හැරෙනු ඇති බවත් විනාශය දිගටම පැවතුනහොත් යුද්ධයට ඊශ්‍රායල සහයෝගය අඩු විය හැකි බවත්ය
“මෙම යුද්ධය දරුණුයි. ටෙහෙරානයේ ජනතාවට ගෙවන්නවන මිල අතිශයින් ඉහළ යනු ඇති බව ඊශ්‍රායලය ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. නමුත් බෙන්ජමින් නෙතන්යාහු පිටුපස සිට ඉරානයට එරෙහි යුද්ධයට සහාය දෙන සමාජය මෙම මට්ටමේ විනාශයක් අපේක්ෂා කළේ නෑ. 1973 සිට ඊශ්‍රායලය ටෙල් අවිව් හි හදවත ආසන්නයේ පිහිටා ඇති රටකට එරෙහිව යුද්ධයක් දියත් කර නෑ. එමෙන්ම ඊශ්‍රයාලය කිසි විටෙක මේ පරිමාණයෙන් ප්‍රහාරයට ලක් වී නැහැ. ” පැරිසියේ සිට මැග්නියර් අල් ජසීරා වෙත පවසා තිබිණි.
“ඉතින් දැන් ඔවුන් පලස්තීනුවන් දුක් විඳිමින් සිටින ආකාරය , ලෙබනන් ජාතිකයන් දුක් විඳිමින් සිටින ආකාරය, අත් දැකීමෙන් තේරුම් ගනිමින් ඉන්නවා. ඔවුන් ඉදිරිපිට ඇත්තේ දැවැන්ත විනාශයක්. ටෙල් අවිව්හි ගොඩනැගිලි, හයිෆාහි ගොඩනැගිලි විනාශ වී සුන් බුන් වෙලා. සෑම තැනක්ම ගිනි ගන්නා ආකාරය ඔවුන් දකිනවා. දේපළ තවදුරටත් ඉතිරිව නෑ. එක් දිනක් තුළ පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් 250 දෙනෙකු තුවාල ලබලා. ඊශ්‍රායලය එය බොහෝ කලක සිට එය අසා නැති දෙයක්. එබැවින් මේ තත්ත්වයට ඊශ්‍රායල සමාජය සූදානම් වී නැහැ,” ඔහු තවදුරටත් පැවසීය.







