ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා වෙඩික්කරුවන්ට ආධාර අනුබල සැපයූ බවට චෝදනා ගොනු කරමින් දැනට පැය 72ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන නීතිඥ තමාරා අබේරත්න තව දුරටත් දින 90 කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ නීතිඥ තමාරා අබේරත්න අත්අඩංගුවට ගන්නේ ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධානම සැකකරුවාවන කෙහෙල්බද්දර පද්මේ විසින් මේ වනවිට හෙළිදරවු කරන තොරතුරු මත පදනම්ව බවය.
ගනේමුල්ල සංජීව ඝාතකයාට නීතිඥවරයෙක් ලෙස සැරසී අධිකරණ භූමිය තුළට ඇතුළු වීම සදහා අවශ්‍ය කටයුතු තමාරා අබේරත්න විසින් සකස් කර දී ඇති බව ඇය අත් අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙන්නේයැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට කීහ.
ඇය සංජීවගේ ඝාතකයා ට නීතිඥ වෙස් ගෙන අධිකරණ භූමියට ඇතුළුවීම සඳහා නීතිඥවරුන් පළඳිනා ටයි පටි දෙකක්, අපරාධ නඩු විධාන සංග්‍රහ පොත් දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවලට අලවන ස්ටිකර් දෙකක් ලබා දී ඊට අමතරව ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සකස් කර ගැනීම සඳහා තම නීතිඥ හැඳුනුම්පත ද ඇය ඝාතකයාට ලබා දී ඇති අයුරු විමර්ශනවල දී අනාවරණය වී ඇත.
සැකකාර නීතීඥවරිය කෙහෙල්බද්දර පද්මේට එරෙහිව ඇති නඩු කටයුතුවලදී ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් නීතීඥ සහය ලබා දී ඇති අයෙක් බව විමර්ශන අංශ කීවේය. ඒ අනුව සැකකාරියගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අපේක්ෂා කරීමට බලාපොරොත්තු වන බවද ඔවුහු අධිකරණයට දැනුම් දුන්හ.
විමර්ශනයට අදාලව සැකකාර නීතිඥවරියගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර හිමි විය.
විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය නොවැම්බර් 11 දින අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.







