රජය විසින් මන්ත්‍රිවරුන් සඳහා ආනයනය කිරීමට බලාපොරොත්තුවන වාහන සම්බන්ධයෙන් දැඩි විරෝධයක් නොදක්වා එම විරෝධය ඇල් මැරුණු ස්වරූපයෙන් පවත්වාගෙන යාම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තත්ත්වයට හේතුව වී ඇත්තේ විපක්ෂ මන්ත්‍රිවරුන් ඇතුළු 225 දෙනාටම එම වාහන ලබා ගැනීමේ අවස්ථාව හිමිව ඇති නිසාය.
රජයේ මුදල් රුපියල් කෝටි 243ක් වැය කරමින් මෙම මන්ත්‍රීවරුන් සඳහා ටොයොටා ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ 228ක් ගෙන්වීම ඇතුළු වාහන 400ක් ටොයොටා සමාගම හරහා ගෙන්වීම සඳහා මේ වනවිට රුපියල් කෝටි 370ක් එනම් බිලියන 3.7ක ණයවර ලිපියක් ලංකා බැංකුව හරහා විවෘත කොට ඇත. මෙම මුදල් වෙන් කිරීම් කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් පෙර සිදු කොට ඇති අතර මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරුණේ ඊට පසුවය. එහිදී කැබිනට් මණ්ඩලය මෙම වාහන ගෙන්වීමේ තීන්දුව අත්හටුවීමට තීරණය කළද පසුගියදා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කොට තිබුණේ මෙම ණයවර ලිපිය ආපසු අවලංගු කිරීමේ අපහසුතාවක් පවතින බැවින් එම වාහන දැන් අනානය කිරීමට සිදුවන බවය.
මීට කලින් වතාවලදී රජය විසින් සිදු කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වීමට තීරු බදු රහිත බලපත්‍රයක් ලබා දීම වන අතර එහිදී රජයට අහිමි වූ බදු ආදායම පමණි. එහෙත් රජය මේ වනවිට දැඩි විදේශ සංචිත අර්බුචදයකට ලක්ව පවතින අවස්ථාවක මෙසේ රජයේ මුදල් කෝටි 243ක් වැයකොට වාහන ගෙන්වීම ආර්ථිකමය වශයෙන් අඥාන තීන්දුවක් බව බොහෝ විචාරකයන්ගේ මතය වී ඇත.
පසුගියදා බංග්ලාදේශය ලෝකයේ ණය දෙන රටක් බවට පත් කරමින් මුල් වරට විදේශයක් සඳහා ලබා දුන් ණය ආධාරය ලෙස මුදල් හුවමාරු (ස්වැප් ) පහසුකම මත ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දුන්නේද මෙම විදේශ සංචිත අර්බුද සමනය කිරීම සඳහාය.
එවැනි තත්ත්වයක් පැවතුණද තමන්ටද වාහන ලැබෙන නිසා මෙම වාහන ගෙන්වීමේ රජයේ උත්සාහය හමුවේ දැඩි විරෝධයක් නොපෙන්වා මතුපිට විරෝධයක් දැක්විය යුතු බවට විපක්ෂ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු අතර කතා බහක් ඇතිව තිබෙන බව ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය. කෙසේ වුවද විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජනබලවේගය මෙම ආනයනය සිදු කිරීමට කටයුතු කරන්නේ නම් කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳ ව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.