මරණයට පත්වන කොරෝනා රෝගීන්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙනි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම ඊයේ (30) සහ අද (01) සිදුකෙරිණ.
කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදානය කිරීමෙන් පසුව එම මෘත ශරීරවලින් වෛරසය ව්‍යාප්ත වීමක් සිදුවන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය කරගෙන නොමැති බව මෙම පෙත්සම් ඊයේ දින සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි එම්.ඒ. සුමන්දිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස්, නිශාම් කාරියප්පර් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිවේදීන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණි.







