ශ්‍රියානි විජේසිංහ –
ඉමියුනෝග්ලෝබියුලින් ප්‍රතිජීවක එන්නත් ඇනවුම වෛද්‍ය සැපයුම් අංශය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට යොමු කළ පසුව එම ඇනවුම භාර ගැනීම සභාපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හා සෞඛ්‍ය ඇමතිවරයා විසින් සභාපතිවරයාව සිය තනතුරෙන් ඉවත් කිරිමේ සිදුවීම් පිලිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
නිතිපතිවරයාව නියෝජනය කරමින් අධිකරණයට කරුණු දක්වන නීතීඥවරිය සදහන් කළේ මෙම ඉමියුනෝග්ලෝබියුලින් ඖෂධ රෝගීන්ට දීම තබා පරික්ෂණයකට ලක් කිරීමටවත් සුදුසු නොවන බවට පරික්ෂණ වාර්තාවන්ගෙන් තහවුරු වී ඇති බව යැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
මෙම ඖෂධය මාස 3ක කාලයක් සඳහා ඇනවුම් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශයට නියෝගය ලබා දුන්නේ කවුරුන්ද, අදාල ලිපියට අත්සන් කළේ කවුද, එම අත්සන ගැසීමට ඉහළින් නියෝගයක් ලැබුණේද යන්න පිලිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතු යැයි වෛද්‍ය අලුත්ගේ පවසා සිටියි.
ඖෂධ හදිසි මිලදී ගැනීම් හරහා සිදුවිය හැකි වංචා දූෂණයන් මගහරවා ගැනීම සඳහා සංගමය ඉදිරිපත් කළ දසවැදෑරුම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් මගහැර ඇත්තේ හොර චෞර රැළට තම අභිමතය පරිදි මහජන මුදල් කා දමන්නට යැයි ඔහු කීවේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු කණ්ඩායමට මෙම පරික්ෂණය නිවැරදි දිශාන්තයට යොමුකරමින් මේ සිද්ධියේ මහ මොළකරුවන් ඇතුලු සියලුම දෙනාට තරාතිරම නොබලා දඩුවම් දෙන තෙක් මෙරටේ මහජනතාව සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම බලා සිටින බවද වෛද්‍ය අලුත්ගේ පවසා සිටියි.