කූඨ ලේඛණ යොදා ගනිමින් ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අතරමැදි පන්තිවලට දරුවන් ඇතුළත් කරගත් බවට චෝදනාලද එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වූ පී.කේ.ආර් රණසිංහ ඊයේ (23) පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන අතර රහසිගත ලෙස සිය ප්‍රකාශය ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටියදී පොලිසියට හසු වී තිබේ.
හිටපු විදුහල්පතිනිය ඊයේ දිනයේ දී නීතිඥවරයෙක් සමග පැමිණ පුරා පැය 09ක් තිස්සේ ප්‍රකාශයක් ලබා දී තිබේ. ප්‍රකාශ ලබා දීම ආරම්භ කළ අවස්ථාවේ දී ඇය සිය අත් බෑගය ඇයට යාබද පුටුවේ තබා ඇත.
ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරියෙක් පැමිණ අත් බෑගය සහිත පුටුව මදක් ඈත් කරන විට ඇය ක්ෂණයකින් ඈත් කළ පුටුව තමන් වෙත ලං කර ගෙන තිබේ. ඒ බව දුටු තවත් පොලිස් නිලධාරියෙක් ඇයගේ හැසිරීම ගැන සැක සිතී අත් බෑගය පරීක්ෂා කර ඇත.
එවිට පෙනි ගොස් ඇත්තේ ජංගම දුරකථනයේ පටිගතකිරීම ක්‍රියාත්මක වී ඇති බවත් එය විනාඩි 15ක් පුරා ක්‍රියාත්මක වී තිබෙන බවත්ය.
ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන සිද්ධිය අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව එය පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට යොමුකර වාර්තාවක් ලබා ගන්නා බවත් එම වාර්තාව සමග නඩු භාණ්ඩයක් ලෙස දුරකථනය අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය පැවසීය.







