මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධව නිරීක්ෂණය කරන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
පද්ධතියට විවිධ අයි.පී. අංක 57කින් පුද්ගලයින් ඇතුළුවීම් තහවුරු කරගෙන ඇති බවත්, මෙම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත් වී ඇති බවත් මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් තොරතුරු නිරීක්ෂණය කරනු ලබන VMS පරීක්ෂාව මගින් පසුගිය කාලයේ අවස්ථා රැසක දී මහා පරිමාණයෙන් මෙරටට රැගෙන ආ මත් ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
එවන් පසුබිමක දී අදාල තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත් ද්‍රව්‍ය ජවාරම්කරුවන් අතට පත් වී ඇති බවට තොරුතුරු ලැබීමත් සමග පොලිස්පතිවරයාගේ උපදෙස් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
විවිධ අයි.පී අංක 57කින් පද්ධතියට ඇතුළු වී තොරතුරු ලබාගෙන ඇති පුද්ගලයින් කවුරුන්ද යන්න සොයාගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එමෙන්ම අදාල VMS පරීක්ෂාවට ඇතුළුවීම සඳහා බාහිර පාර්ශවයන්ට නොහැකිවන පරිදි එහි රහස් අංකය වෙනස් කර ඒවා නියෝජ්‍ය පොලිස්පතිට සහ අධ්යක්ෂවරයාට පමණක් ලබා දී ඇති බව ද වාර්තා වේ.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන බවට ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශයක කාර්යාංශයේ උප පොලිස් පරික්ෂකවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කිරීමට ද කටයුතු කර තිබේ.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් සියලු නිලධාරීන්ගෙ වත්කම් බැරකම් පිළිබඳ විශේෂ පරීක්ෂාවක් පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශය විසින් අරඹා ඇත.
දැනට එම ඒකකයේ සේවය කරන නිලධාරීන් 400ක පිරිසකගෙන් දැනට නිලධාරීන් 20කගේ වත්කම් බැරකම් වාර්තා ලැබී ඇති බවත්, සැක සහිත වත්කම් බැරකම් සහිත නිලධාරීන් වෙතොත් වහාම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඉවත් කර ඔවුන් සම්බන්ධව විමර්ශන පවත්වා වැරදිකරුවන් වුවහොත් දැඩි දඬුම් පමුණුවන බව ද පොලිසිය පවසයි.







