තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බව ශ්‍රී ලංකාව පිළිගන්නා බවත් එක් චීනයක් පිළිබඳ තමන් සතු දැඩි කැපවීම ශ්‍රී ලංකාව යළි තහවුරු කරන බවත් චීන ශ්‍රී ලංකා ද්වී පාර්ශවික සාකච්ඡාවල දී ජනාධිපති අනුර කුමාර දිසානායක චීන රජයට සහතික වී ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව ලෙස සිය රජය නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන අතර චීන රජයට එරෙහි මොනම කටයුත්තක් වෙනුවෙන්වත් ශ්‍රී ලංකා භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
චීන ශ්‍රි ලංකා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව දෙරට නිකුත් කර ඇති ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 2758 හි අධිකාරි බලය දෙපාර්ශ්වයම නැවත තහවුරු කළ බවය. ඒ අනුව මහජන චීන සමූහාණ්ඩුවේ රජය සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජය බවත්, තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් සේ පිළිගනිමින් එක් චීනයක් යන මූල ධර්මය කෙරෙහි තමන් සතු දැඩි කැපවීම ශ්‍රී ලංකාව යළි තහවුරු කළ බවය. කවර හෝ ස්වරූපයක තායිවානයේ ස්වාධීනත්වයට ශ්‍රි ලංකාව එකඟ නැති බව ජනාධිපතිවරයා අවධාරණය කරන ආකාරය එම ඒකාබද්ධ ප්‍රකාශයේ පැනේ.
චීන විරෝධී, බෙදුම්වාදී ක්‍රියාකාරකම් සඳහා තම භූමිය භාවිතා කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන බවත්, ෂිසන්ග් සහ පින්ජියැන්ග් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් චීනයට ස්ථිර ලෙස සහය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව නැවත අවධාරණය කර ඇත.
ජාතික නිදහස, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ස්ථිර ලෙස සහය දෙන බවත්, රටේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ස්වාධීනව තෝරා ගැනීමේදි ශ්‍රී ලංකාව ගනු ලබන තීරණ වලට ගරු කරමින් සහාය දෙන බවත් චීනය දන්වා තිබේ.
ස්වාධීන සාම විදේශ ප්‍රතිපත්තියක් උදෙසා තමන් තුළ ඇති කැපවීම චීන පාර්ශ්වය යළි අවධාරණය කර ඇති අතර ස්වාධීන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් උදෙසා තමන් තුළ ඇති කැපවීම ශ්‍රී ලංකා පාර්ශ්වය යළි අවධාරණය කර ඇත.
එමෙන්ම විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඉක්මනින් අවසන් කිරීම සඳහා කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වූයේය. තවද එක් තීරයක් – එක් මාවතක් සහයෝගීතා සැලැස්මට ද චීනය සහ ශ්‍රී ලංකාව අත්සන් තැබුවේය.
චීන සංචාරයෙන් අනතුරුව චීන – ශ්‍රී ලංකා රාජ්‍යයන් දෙක අත්සන් තැබූ ඒකාබද්ධ ගිවිසුම පහත දැක්වේ.
මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජන රජය අතර ඒකාබද්ධ ප්‍රකාශය
බීජිං, 2025 ජනවාරි 16 වැනි දින
1. මහජන චීන සමුහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂී ජින් පිං මැතිතුමාගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා 2025 ජනවාරි 14 වැනි දින සිට 17 වැනි දා දක්වා මහජන චීන සමුහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත විය.
2. සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ සාකච්ඡා පැවැත් වූ අතර, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අග්‍රාමාත්‍ය ලී වියන්ග් සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඹි ලෙජි යන මහත්වරුන් හමු විය. සුහද හා මිත්‍රශීලී වාතාවරණයක් තුළ, විස්තරාත්මක ලෙස අදහස් හුවමාරු කර ගත් දෙපාර්ශ්වය, චීනය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය වර්ධනය කිරීම, උසස් තත්ත්වයේ එක් තීරයක් – එක් මාවතක් සංකල්පය අරමුණු කරගත් සහයෝගිතාව, බහු – ආංශික ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳ විස්තීරණ පොදු අවබෝධයතාවට එළැඹුණි.
3. චීනය සහ ශ්‍රී ලංකාව වසර 68ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ නිරන්තරයෙන් එකිනෙකාට ගරු කරමින්, සමාන ලෙස සලකමින් සහ එකිනෙකා වෙනුවෙන් පෙනී සිටිමින්, භූමි ප්‍රමාණයෙන් වෙනස් වූ රටවල් අතර මිත්‍රශීලී අන්තර්ක්‍රියාවලට සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ ලැබෙන සහයෝගිතාවට කදිම ආදර්ශයක් සපයා ඇති බව දෙපාර්ශ්වයේම අදහස විය. රබර් – සහල් ගිවිසුමේ අන්තර්ගත ස්වාධීනත්වය, ස්වයං විශ්වාසය, සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය සහයෝගය ඉදිරියටත් පවත්වා ගෙන යෑමට, අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය, සහයෝගය, දෙපාර්ශ්වයටම වාසිදායක සහයෝගිතාව සහ පොදු සංවර්ධනය යන මූලධර්ම අනුගමනය කිරීම, අවංක අන්‍යෝන්‍ය සහයෝගය සහ දිගු කාලීන මිත්‍රත්වය මත පදනම්ව චීන – ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය පුළුල් කිරීම පිණිස කැපවී සිටීමට සහ දෙරටට සහ දෙරටේ ජනතාවට වැඩි ප්රතිලාභ ගෙන ඒම සඳහා බෙදා හදා ගත් අනාගතයක් සහිත චීන – ශ්‍රී ලංකා ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීමට දෙපාර්ශ්වය එකඟ විය.
4. ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් දෙරටේ නායකයින්ගේ ශක්තිමත් උපාය මාර්ගික මගපෙන්වීම පවත්වා ගැනීම සඳහා සමීප ඉහළ මට්ටමේ සබඳතාවල ගම්‍යතාව පවත්වා ගැනීමටත්, දෙරටේ රජයන් අතර ද්වීපාර්ශ්වික හුවමාරු තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ව්‍යවස්ථාදායක ආයතන සහ දේශපාලන පක්ෂ අතර ද්විපාර්ශ්වික හුවමාරු තවදුරටත් ශක්තිමත් කිරීමට සහ එකිනෙකාගේ පාලන හා සංවර්ධන අත්දැකීම් බෙදා ගැනීමට සහ ඒවායින් ඉගෙන ගැනීමටත්, චීන – ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු කිරීම සඳහා කැපවීමෙන් යුත් ප්රයත්න දැරීමටත් දෙපාර්ශ්වය එකඟ විය.
5. එකිනෙකාගේ ප්‍රධාන අභිලාෂ සහ විශාල වශයෙන් සැලකිල්ල දක්වන ගැටලුවලට අදාළ කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය දක්වන බව දෙපාර්ශ්වයම යළි තහවුරු කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 2758 හි අධිකාරි බලය දෙපාර්ශ්වයම නැවත තහවුරු කළ අතර, මහජන චීන සමූහාණ්ඩුවේ රජය සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජය බවත්, තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් පිළිගනිමින් එක් චීනයක් යන මූල ධර්මය කෙරෙහි තමන් සතු දැඩි කැපවීම ශ්‍රී ලංකාව යළි තහවුරු කළේය. ජාතියක් වශයෙන් නැවත එක්සත් වීම සාක්ෂාත් කර ගැනීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහය දක්වන අතර, කවර වූ හෝ ස්වරූපයක ” තායිවානය ස්වාධීනත්වයට ” විරුද්ධ වේ. චීන විරෝධී, බෙදුම්වාදී ක්‍රියාකාරකම් සඳහා තම භූමිය භාවිතා කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන බවත්, ෂිසන්ග් සහ පින්ජියැන්ග් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් චීනයට ස්ථිර ලෙස සහය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව නැවත අවධාරණය කළේය. ජාතික නිදහස, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ස්ථිර ලෙස සහය දෙන බවත්, එහි ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ස්වාධීනව තෝරා ගැනීමේදි ශ්‍රී ලංකාව ගනු ලබන තීරණ වලට ගරු කරන බවත්, සහය දෙන බවත් චීනය නැවත අවධාරණය කළේය. ස්වාධීන සාම විදේශ ප්‍රතිපත්තියක් උදෙසා තමන් තුළ ඇති කැපවීම චීන පාර්ශ්වය යළි අවධාරණය කළේය. ස්වාධීන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් උදෙසා තමන් තුළ ඇති කැපවීම ශ්‍රී ලංකා පාර්ශ්වය යළි අවධාරණය කළේය.
6. 2024දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකාවට සුඛ පැතූ චීනය ආර්ථික හා සමාජීය සංවර්ධනය, එකමුතුකම, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරියට ගෙන යෑම පිණිස ශ්‍රී ලංකාවේ නව රජයට සිය සුබ පැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකා රජය රටේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන විට ඒ සඳහා ක්‍රියාකාරී සහයෝගය ලබා දීමට තමන් සතු සුදානම ද ප්‍රකාශ කළේය. නව යුගයේ චීනය ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ ප්‍රශංසාවට ලක් වූ අතර, සෑම අතින්ම ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් ගොඩ නැගීමට සහ චීන නවීකරණයේ මාවත හරහා චීන ජාතියේ මහා පුනර්ජීවනය ඉදිරියට ගෙන යෑමට චීනයට සහය දක්වන බව ද ශ්‍රී ලංකාව ප්‍රකාශ කළේය. ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමට සහ ඉහළ ප්‍රමිතියකින් යුත් විවෘත භාවය ප්‍රවර්ධනය කිරීමට චීනය ගන්නා උත්සාහය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා නව අවස්ථා උදා කරනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරයි.
7. දෙරටේ නායකයින්ගේ මඟ පෙන්වීම සහ දිරිගැන්වීම යටතේ, චීනය සහ ශ්‍රී ලංකාව එක් තීරයක් – එක් මාවතක් සහයෝගිතාවෙහි ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත. සිය ආර්ථික හා සමාජීය සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපාය විෂයෙහි එක් තීරයක් – එක් මාවතක් සහයෝගිතාව ඉටුකරන වැදගත් කාර්යභාරය ශ්‍රී ලංකාව අගය කරයි. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඒකාබද්ධ සංවර්ධනය ඇතුළු සියලුම ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට, සේද මාවත වැඩමුළුව වැනි වැඩසටහන් සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමට සහ එක්ව සැලසුම් කිරීමේ, ගොඩ නැඟීමේ සහ ප්රතිලාභ ලැබීමේ මූල ධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව තුළ තවත් ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට, විවෘත, හරිත හා පිරිසිදු සහයෝගිතාව සහ උසස් ප්‍රමිතියකින් යුත්, ජනතාව කේන්ද්‍ර කරගත් සහ තිරසර සංවර්ධන මූලධර්ම වලට අනුකුලව, උසස් තත්ත්වයේ එක් තීරයක් – එක් මාවතක් සහයෝගීතාවයට සහය වීම සඳහා ජනාධිපති සී ජින් පිං මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන පියවර අට අනුගමනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය. උසස් තත්ත්වයේ චීන – ශ්‍රී ලංකා එක් තීරයක් – එක් මාවතක් සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ ඉහළ ප්‍රමිතියකින් යුත්, ශක්තිමත්, ඔරොත්තු දීමේ හැකියාවෙන් සහ වැඩි තිරසරභාවයකින් යුත් ජයග්‍රාහී සංවර්ධනය සඳහා ඒකාබද්ධව නව අවකාශයක් විවෘත කිරීම සඳහා එක් තීරයක් – එක් මාවතක් සහයෝගිතා සැලැස්මකට දෙපාර්ශ්වට අත්සන් තැබීය.
8. ණය ගැටලුව සමඟ ඵලදායි ලෙස කටයුතු කිරීමේදි ශ්‍රී ලංකාවට ශක්තිමත් සහයෝගයක් වූ, චීනය ආශ්රිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලබා දුන් අත්‍යවශ්‍ය සහය ද ඇතුළුව, මූල්‍ය දුෂ්කරතා ඇති වූ කාල වලදී චීනයෙන් ලැබුණු වටිනා සහයෝගයට ශ්‍රී ලංකාව සිය කෘතඥතාව පළ කළේය. එකඟ වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම චීන මුල්‍ය ආයතන සමඟ එක්ව ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කළේය. ශ්‍රී ලංකාවේ මුල්‍ය දුෂ්කරතා ලිහිල් කිරීමට සහ ණය තිරසරභාවය ළඟා කර ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ අඛණ්ඩවම ධනාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ඇති අතර අනෙකුත් ණය හිමියන් සමඟ මිත්‍රශීලී සන්නිවේදනයක් පවත්වා ගනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව ඔවුන්ගේ මුදල් හුවමාරු ගිවිසුම අලුත් කර ඇති අතර මූල්‍ය සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත.
9. ආර්ථිකයේ සහ වෙළෙඳාමේ ද්විපාර්ශ්වික සහයෝගිතාවෙහි ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශ්වයම සෑහීමකට පත්ව සිටියි. ශ්‍රී ලංකාවේ සිට කෙරෙන ආනයන ප්‍රවර්ධනය කිරීමට විවිධ මං ඔස්සේ චීනය දරන ප්රයත්නය පිළිබඳව ශ්‍රී ලංකාව සිය කෘතඥතාව පළ කළේය. චීන ආනයනකරුවන්ගේ සහ අපනයන කරුවන්ගේ අදාළ සංගම් සමඟ සබඳතා ඇති කර ගැනීමේදී තේ, මැණික් සහ අනෙකුත් කර්මාන්තවල ශ්‍රී ලාංකික ව්‍යවසායන්ට අඛණ්ඩව සහය වීමට, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය, චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ ඊ- වාණිජ්‍ය වේදිකා වැනි ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වයට පහසුකම් සැලසීමට සහ අන්‍යෙන්‍ය ප්රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල මත පදනම්ව දෙරටේ ව්‍යවසායන් අතර සහයෝගිතාව තවදුරටත් වැඩි දියුණු කිරීමට තමන් සූදානමින් සිටින බව චීනය ප්‍රකාශ කළේය. සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූල ධර්මවලට අනුකූලව එක් සැලැස්මක් තුළ විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඉක්මනින් අවසන් කිරීම සඳහා කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.
ශ්‍රී ලංකාව චීනයෙන් කෙරෙන තවත් ව්‍යාපාරික ආයෝජන සාදරයෙන් පිළිගන්නා අතර ඒ සඳහා හිත කර ආයෝජන සහ ව්‍යාපාරික පරිසරයක් සපයනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සහ තිරසර සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට චීන ව්‍යවසායන් දිරිමත් කිරීම චීනය අඛණ්ඩව කරගෙන යනු ඇත. ස්වකීය උසස් තත්ත්වයේ සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා සැපයුම්, හරිත සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික වැනි ක්ෂේත්රවල සහයෝගිතාව පුළුල් කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.
10. කෘෂිකර්මාන්තය පිළිබඳව ඔවුන්ගේ පුළුල් පරාසයක පැතිරුණු සහයෝගීතාව සහ විස්තීර්ණ හුවමාරු පිළිබඳව දෙපාර්ශ්වය ධනාත්මක ඇගැයීම හුවමාරු කර ගත්තේය. ශ්‍රී ලංකාවේ තිරසර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ශක්‍යතා වැඩි දියුණු කිරීමට උපකාරී වන පරිදි නිවර්තන භෝග සඳහා ජෛව තාක්ෂණ ක්‍රම, ශාක අභිජනනය සහ වගාව, ජලජීවී වගාව ඇතුළු ක්ෂේත්‍ර වල පුහුණු සහ නිරූපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තමන් සතු සුදානම චීනය ප්‍රකාශ කළේය. එමෙන්ම, තේ, පලතුරු, කුරුඳු සහ ජලජ නිෂ්පාදන ඇතුළු සුවිශේෂී නිෂ්පාදන චීනයට අපනයනය කිරීම තවදුරටත් පුළුල් කරන ලෙස විනය ශ්‍රී ලංකාවට යෝජනා කළේය. දරිද්‍රතාව අවම කිරීම සහ ග්‍රාමීය පුනර්ජීවනය කෙරෙහි තියුණු අවධානයක් යොමු කරමින් හුවමාරු සහ සහයෝගීතාව පුළුල් කිරීමට ඇති තමන් තුළ ඇති සූදානම දෙපාර්ශ්වයට ඉදිරිපත් කළේය. කෘෂිකර්මාන්තයට අදාළ ක්ෂේත්‍ර වල සේවකයින්ගේ ශක්යතාවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට තමන් තුළ ඇති සූදානම චීනය ප්‍රකාශ කළේය.
11. දේශගුණික විපර්යාස මානව සමාජයේ විශාලතම අභියෝගයක් වන බවත් චීනය සහ ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසර සංවර්ධනයට එය තර්ජනයක් වන බවත් දෙපාර්ශ්වයම පිළිගනියි. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාකාරීව එක්ව කටයුතු කිරීමට ඔවුහු එකඟ වූහ. දරුණු ගංවතුර තත්ත්වය හමුවේ චීනය ලබා දුන් මානුෂීය සහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චීනයට කෘතඥතාව පළ කළේය. ආපදා වැළැක්වීම සහ අවම කිරීම මෙන්ම හදිසි ගලවා ගැනීම වැනි ක්ෂේත්රවල ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට, එහි තාක්ෂණයන් බෙදා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ හදිසි කළමනා කරණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා පුහුණුව ලබා දීමට තමන් තුළ ඇති සුදානම විනය ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ඒකාබද්ධ ප්රයත්නයේ කොටසක් ලෙස එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර හරිත සංවර්ධන සන්ධානයේ සහ අනෙකුත් සංසද වල අදාළ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය විනය සාදරයෙන් පිළි ගනියි.
12. සමානාත්මතාව, අන්‍යෝන්‍ය විශ්වාසය, විවෘත භාවය සහ අන්‍යෙන්‍ය ප්රතිලාභ මත පදනම්ව සමුද්‍රීය සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට සහ සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් ක්රමික ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීමට දෙපාර්ශ්වයට කැමැත්තක් දක්වයි. සමුද්‍රීය පරිසරය සහ පරිසර පද්ධති සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය, සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත් භාවය, සමුද්‍රිය ගලවා ගැනීම හා ආපදා සහන, සහ සමුද්‍රිය ක්ෂේත්රය හා සම්බන්ධ පිරිස් වෙත පුහුණුව ලබා දීම හා ශක්‍යතා වර්ධනය වැනි ක්ෂේත්‍ර වල සහයෝගීතාව වර්ධනය කිරීමට සහ පොදු අනාගතයක් සහිත සමුද්‍රිය ප්‍රජාවක් ගොඩ නැගීම සඳහා සිය ශක්තිය ඒකරාශී කර ගැනීමට දෙපාර්ශ්වය සුදානම්ය. නීල හවුල්කාරිත්වය උදෙසා සාගර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.
13. අධ්‍යාපනය පිළිබඳ සහයෝගීතාව වර්ධනය කිරීමට දෙපාර්ශ්වයම සුදානමින් සිටියි. අවබෝධය සහ මිත්‍රත්වය වැඩි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්රයේ හුවමාරුවල වැදගත්කම සම්පූර්ණයෙන්ම හඳුනාගත් අතර, දෙපාර්ශ්වය, ගුරුවරුන්, සිසුන් සහ පර්යේෂකයින් හුවමාරු කර ගැනීම තවදුරටත් වැඩිදියුණු කිරීමට තමන් තුළ ඇති සුදානම් ප්‍රකාශ කළේය. විනය තුළ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලාංකික සිසුන්, චීනය විසින් තවදුරටත් දිරිමත් කරනු ලබන අතර ඔවුහු එරටට සතුටින් පිළිගනු ලැබෙති. එමෙන්ම චීන රජයේ ශිෂ්‍යත්ව ලබා දීමෙන් ඔවුන්ට අඛණ්ඩව සහය වීමට විනය සුදානමින් සිටියි. ලුබාන් වැඩ මුළුව ක්‍රියාත්මක කිරීම සඳහා විනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරනු ඇති අතර වෘත්තීය හා තාක්ෂණික පුහුණුව ඔස්සේ ශ්‍රී ලංකාවේ තවත් වෘත්තිකයන් පෝෂණය කරනු ඇත. අධ්‍යාපනය සඳහා ලබා දෙන චීන සහය අගය කරන ශ්‍රී ලංකාව, චීනය සමඟ එක්ව ඩිජිටල් පන්ති කාමර ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ චීන භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය හරහා දෙරට අතර සංස්කෘතික හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වයම සූදානම්ව සිටියි. චීන විද්‍යා ඇකඩමිය යටතේ ඇති චීන – ශ්‍රී ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සහ දෙරටේ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතනවල විද්‍යාත්මක හා තාක්ෂණික හුවමාරු හා සහයෝගීතාව සහ අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය අඛණ්ඩව කටයුතු කරනු ඇත.
14. දෙපාර්ශ්වයම ඔවුන්ගේ දිගු කාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට සහ ඔවුන්ගේ ජනතාව සමීප කරවීමට සුදානමින් පසුවෙයි. දෙරට අතර සංචාර සහ ගුවන් සම්බන්ධතා දිරිගැන්වීම සඳහා දෙපාර්ශ්වය බහු විධ පියවර ගනු ඇත. සේද මාවතේ නගර පිළිබඳ ජාත්‍යන්තර සංචාරක සන්ධානයට තවත් ශ්‍රී ලාංකික නගර එක් කරනු දකින්නට විනය කැමැත්ත දක්වයි. චීනයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කටයුතු කිරීමේදී දෙපාර්ශ්වය එකිනෙකාට සහයෝගය දක්වනු ඇත.
15. බෞද්ධ ආගම හා බැඳුණු හුවමාරු මත ගොඩනැගී ඇති තාරුණ්‍යය, බුද්ධි මණ්ඩල, ක්‍රීඩා සහ ජනමාධ්‍ය ආදී ක්ෂේත්රවල හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ පුද්ගල – පුද්ගල සබඳතා සහ සහෝදර නගර අතර පවතින සබඳතා ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය සුදානමින් පසුවෙයි.
16. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සංවර්ධනය සඳහා විනය දිගින් දිගමට සහයෝගය ලබා දෙනු ඇත. බ්‍රයිට්නස් ඇක්ෂන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකාවට යැවීම චීනයේ යුනාන් පළාත අඛණ්ඩව කරගෙන යනු ඇත.
17. සංස්කෘතික උරුමයන් සංරක්ෂණය සඳහා වූ ආසියානු මුලපිරීම පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතාගේ යෝජනාවට ශ්‍රී ලංකාව ලබා දුන් ධනාත්මක ප්‍රතිචාරයත් සහ ආසියාවේ සංස්කෘතික උරුමයන් සඳහා වූ සන්ධානයේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයත් චීන පාර්ශ්වයේ පැසසුමට ලක් වේ. මෙම සන්ධානය යටතේ විනය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සංස්කෘතික උරුම සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇත.
18. අධිකරණ, නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව ද්විපාර්ශ්වික සහයෝගීතාවේ වැදගත් අංගයක් ලෙස දෙපාර්ශ්වය පිළිගන්නා අතර, දුරකථන මාර්ග හරහා සිදු කෙරෙන වංචා සහ මාර්ගගත ක්‍රමය හරහා කෙරෙන සුදුව වැනි දේශසීමා හරහා කෙරෙන අපරාධ ඒකාබද්ධව මර්දනය කිරීමට දෙපාර්ශ්වයම සූදානම්ව සිටියි. ශ්‍රී ලංකාවේ අධිකරණ, නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍ර වල ශක්‍යතා වර්ධනයට සහය වීමට සහ පොලිස් සැපයුම් සඳහා සහය ලබා දීමට චීනය උපරිමයෙන් කටයුතු කිරීමට සුදානම්ය.
19. මානව වර්ගයා සඳහා වු බෙදා හදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් සංවර්ධනය කිරීම විෂයෙහිත්, ජනාධිපති සී ජින්පින් මැතිතුමා විසින් යෝජනා කරනු ලැබ ඇති ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම විෂයෙහිත් සහය වීමට හා ක්‍රියාකාරීව සහභාගි වීමට තමන් තුළ ඇති කැපවීම ශ්‍රී ලංකාව යළි තහවුරු කළේය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී නොබෝ කලකින් පිහිටවනු ලැබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි සංවත්සරය 2025, එනම් මෙම වසරේදී සනිටුහන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මධ්‍ය කොට ගත් ජාත්‍යන්තර ක්‍රමය, ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර සාමය සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු හා මූලධර්ම මත පදනම් වූ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් එක්ව ආරක්ෂා කිරීමට තමන් තුළ වූ කැපවීම දෙපාර්ශ්වය නැවත තහවුරු කළේය. සාමකාමී සහජිවනය පිළිබඳ මූලධර්ම පහට තරයේ අනුගතව සිටින දෙපාර්ශ්වයම, සමාන හා ක්‍රමවත් බහු ධ්‍රැවීය ලෝකයක් සහ විශ්වීය වශයෙන් ප්‍රයෝජනවත් සහ සියල්ලන් ඇතුළත් ආර්ථික ගෝලිය කරණය සඳහා එක්ව පෙනී සිටිමින් ලෝකයේ සියලුම රටවලට සාමය, ආරක්ෂාව, සමෘද්ධිය සහ ප්‍රගතිය සහිත දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරනු ඇත.
20. සංචාරය අතරතුරදී, කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය, ජීවනෝපාය සහය, ජනමාධ්‍ය සහ සෙසු ක්ෂේත්‍ර වල සහයෝගිතා ලියකියැවිලි වලට දෙපාර්ශ්වය අත්සන් තැබීය.
21. තමාට සහ ශ්‍රී ලංකා දුත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට චීන නායතක්වයට ඇරයුම් කළේය. එම කාරුණික ආරාධනයට චීන නායකත්වය කෘතඥතාව පළ කළ අතර, ඒ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා සන්නිවේදනය පවත්වා ගැනීමට දෙපාර්ශ්වය එකඟ විය.
මෙම දිගුවෙන් මෙම ප්රකාශනයේ PDF ගොනුව ලබා ගත හැක. 816440354-Sri-Lanka-China-Joint-Statement-Sinhala







