බළපිටිය ජයකාන්ත ලියනගේ –
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර දෙකම මේ වන විට අක්‍රීය වී ඇති බව කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර පිටින් සීටී ස්කෑන් කරගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කිරීමටත් සමග දුප්පත් රෝගීන් දැඩි අසරණ භාවයට පත්ව තිබේ.
රෝහල සතුව තිබූ සීටී ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් පසුගිය වසරේ අක්‍රීය වූ අතර අනෙක් යන්ත්‍රය පසුගිය මාසයේ අක්‍රීය වී තිබේ.
එක් යන්ත්‍රයක් අක්‍රීය වීමෙන් පසු සීටී ස්කෑන් විකිරණ පරීක්ෂණ අත්‍යාවශ්‍ය රෝගීන් සඳහා පමණක් සිදු කිරීමේ ක්‍රමවේදයක් කරාපිටිය රෝහල අනුගමනය කළ බවද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ අක්‍රීය වී ඇත්තේ රෝහල සතුව තිබූ ඉතා හොද තත්ත්වයේ සීටී ස්කෑන් යන්ත්‍රය බවද කරාපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
එයින් පසුව ක්‍රියාත්මකව පැවති යන්ත්‍රයෙන් ස්කෑන් කළහැකිව තිබී ඇත්තේ රෝගියාගේ හිස ආශ්රිත ප්‍රදේශය පමණක් බවද රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
පසුගිය වසරේ අක්‍රීය වූ සීටී ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වී ඇත්තේ එම යන්ත්‍රයේ බල්බයක් පිච්චි තිබීම හේතුවෙන් බව එකල රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කර තිබුණි.
සීටී ස්කෑන් කළ යුතු රෝගීන් හම්බන්තොට රෝහලට පිටත්කර යවා ස්කෑන් පරික්ෂණ සිදුකරන බවත් හදිසි රෝගින්ගේ ස්කෑන් පරික්ෂණ රජයේ වියදමින් පුද්ගලික අංශය මගින් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබුණි.







