කසිප්පු වැටලීමකට ගිය තලාව පොලිස් සථානාධිපතිවරයාට කසිප්පු ජාවාරම්කාර මැරයා විසින් මන්නයකින් කොටීම නිසා තුවාල ලැබ අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මන්නාපහරට ලක්වීමෙන් සහ මැරයාගේ සහචරයින් ගෙන් පහරකෑමෙන් තලාව පොලිස් ස්ථානාධිපතිවරයා සමග පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් සැරයන්වරයෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් තලාව රෝහලට ඇතුළත් කර ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ලැබුණු ඔත්තුවක් අනුව තලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහා තලාව සුමුදුගම ප්‍රසිද්ධ මත්පැන් ජාවාරම්කරුවෙක් අත් අඩංගුවට ගැනීමට ගොස් තිබේ.
කසිප්පු මැරයා අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහු පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කිරමින් මන්නා පිහියකින් පහරදීමට උත්සාහ කර තිබිණි. වැටලීමට ගිය නාලධාරින් එම ස්ථානයෙන් පසුබැස සිද්ධිය සම්බන්ධව තලාව පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබිණි.
ආරංචිය ලැබීමෙන් පසු තලාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ගොස් අදාල කසිප්පු මැරයා අත් අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේ දී කසිප්පු මැරයා ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් වූ තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට මන්න ප්‍රහාරයක් එල්ල කර ඇත.
පොලිසිය කියන්නේ අනතුරුව ජීව අත් බෝම්බයක් රැගෙන විත් සැකකරු පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ බවය. එම අවස්ථාවේ දී ඒ ප්‍රහාරය වලක්වා සැකකරු ජීව අත් බෝම්බය සමග පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ සිදුවීම වන අවස්ථාවේ පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන්ට පහර දීම සිදුකර තිබිණි. එම පිරිස පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.
තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







