කොළඹ වෛද්‍ය සැපයුම් අංශය තුළ මේ වන විට ඖෂධ වර්ග 525ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 5376ක් තොග අවසන්ව ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සදහන් කරයි.
මේ අනුව ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු අතර මේ වන විට ඇත්තේ ඉන් සියයට 38.7ක් බවත් ශල්‍ය ද්‍රව්‍ය 8553න් දැනට පවතින්නේ සියයට 62.9ක ප්‍රතිශතයක් පමණක් බවද සංගමය පෙන්වාදේ.
මේ අතර ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 6ක් , අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 329ක් හා කලාතුරකින් අවශ්‍ය වන ඖෂධ 280 ද වන අතර අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721 මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය තුළ තොග අවසන්ව ඇතැයි සංගමයේ සභාපති අජිත් තිලකරත්න සදහන් කරයි.
හදිසි හෘදයාබාධ සඳහා භාවිත කරන ඖෂධ, ජලභීතිකා සඳහා භාවිත කරන එන්නත් වර්ග මේ වන විට තොග අවසන් ව ඇති අතර මේවා ඇනවුම් කර ඇති නමුත් ශ්‍රී ලංකාවට ලැබීමට තවත් සති හයක පමණ කාලයක් ගත වෙනු ඇති බව ඔහු පෙන්වාදේ.
මෙම තත්ත්වය රට තුළ ඇතිවන බව තම සංගමය මීට මාස 6ට පෙර සියලුම වගකිවයුතු පාර්ශ්වයන්ට දැනුම් දුන් නමුත් පිලිගත හැකි සාධනීය මැදිහත්වීමක් සිදු නොවූ බවත් මේ හේතුවෙනු ඉදිරියේදී රෝහල් පද්ධතිය කඩා වැටීමකට ලක්වීම වැලැක්විය නොහැකි බවද සංගමය අවධාරණය කළේය.







