ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයකු ලෙස සේවය කළ කාන්තා ජාවාරම ඇතුළු චෝදනා ගණනාවකට ලක්ව සිටින කුෂාන් නැමැති නිලධාරියා අද අලුයම මෙරටට පැමිණෙන බවට තහවුරු කර ගත් තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සූදානමින් සිටියද ඔහු අදාළ ගුවන් යානයෙන් මෙරටට පැමිණ නැති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළේ රැඳී සිටි පොලිස් නිලධාරීන්ට ආපසු හැරී යාමට සිදුව ඇති අතර මෙම තත්ත්වය මත ඔහු මෙරටට නොපැමිණ වෙනත් රටකට පළා යාවිද යන සැකයක් මේ වනවිට මතුව තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුයුක්ත ව ඕමාන තානාපති කාර්යාලයේ සේවය කරන මෙම නිලධාරියා මේ වනවිට වැඩ තහනමකට ලක් කර ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයද අහෝසි කර ඇති අතර මෙරට බලධාරීන්ට පවසා තිබුණේ ඔහු ඊයේ මෙරටට පැමිණෙන බවයි. එහෙත් ඔහු ඊයේ නොපැමිණ අද අලුයම මස්කට් නුවර සිට කටුනායක බලා පැමිණෙන ගුවන් යානයක පැමිණෙන බවට තොරතුරු ලබාදී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද අදාළ ගුවන් ප්‍රවෙශ පත්‍ර අංක ඇතුළු තොරතුරු මඟින් ඒ බව තහවුරු කරගෙන තිබිණ. එහෙත් ඒ අනුව ඔහු අද අලුයම පැමිණි නියමිත ගුවන් යානයේ පැමිණ නොසිටි අතර මේ වනවිට ඕමානයේ කිසිවකුගේ අධීක්ෂණයට ලක් නොවී සිටින මෙම නිලධාරියා මෙරට නීතිය හමුවට මුහුණ නොදී ඩුබායි වෙනත් රාජ්‍යයක් වෙ තපළා යාවිද යන සැකය මේ වනවිට නිර්මාණය වී ඇත.
ඔහුගේ වැඩ තහනම් කිරීම හෝ විනය පියවර ගැනීම ට පෙර මෙරටට ගෙන්වීමට කටයතු කරන ලෙස විදෙශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයාව සිටි මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ විදෙශ රැකියා ප්‍රවරධන අමාත්‍යංශ ලේකම්වරයා වෙත දන්වා තිබුණේ මෙම වසරේ ජනවාරි මාසයේ දී වුවද ඔහු සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම අමාත්‍යංශය කටයුතු කර නොතිබිණි.