ඩයනා උදයංගනී –
-
වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත්කළ කැබිනට් අනුකාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟවෙයි…
-
2022 අයවැයෙන් ප්‍රශ්නය විසඳන තුරු රුපියල් 5000 දීමනාවක්…
-
ඇවිත් උගන්වන්න… අධ්‍යාපන ඇමති ගුරුවරුන්ගෙන් ඉල්ලයි…
ගුරු විදුහල්පති සේවාවේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත්කළ කැබිනට් අනුකාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම විශේෂ කාරක සභාවක් හරහා ඉදිරි මාස හය ඇතුළත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.
ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන 2022 අයවැයෙන් මෙම ගැටලුවට අනිවාර්ය විසඳුමක් ලැබෙන තුරු ගුරු විදුහල්පතිවරුන්ට දීමනාවක් ලබාදීමට ද රජය තීරණය කර ඇති නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමට ඔවුන් පියවර ගනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ඇමතිවරයා කීවේය.
වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත්කළ කැබිනට් අනුකාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කී ඇමතිවරයා එහි ආරම්භක පියවර ලෙස ගුරු, ගුරු උපදේශක හා විදුහල්පති සේවාවන් සංවෘත සේවා වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය ලබන නොවැම්බරයේදී නිකුත් කරන බව ද සඳහන් කළේය.
දැනටත් එම නිර්දේශයන්හි ඇතුළත් ඇතැම් කරුණු පිළිබඳ මූලික සාකච්ඡා ආරම්භ කර ඇතැයි කී ඇමතිවරයා වසර හතරක් පමණ තුළ ඒ සියල්ල ක්‍රියාවට නංවන බව කීවේය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
ලංකාදීප –