මනම්පිටිය නිමල් ජයරත්න –
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ හෙවත් දිඹුලාගල හාමුදුරුවෝ ත්රස්තවාදීන් විසින් ඝාතනය කර අදට වසර තිහක් සපිරේ.
රටටත්, ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් අමිල මෙහෙවරක් ඉටු කළ, 1500 කට වැඩි පිරිසක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරමින්, වෙහෙර විහාරස්ථාන, සහ ජනපද බිහිකර ජනතාව පදිංචි කරවා, පිඬු සිඟා වඩිමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ලක්වාසී, ලෝකවාසී, ජනතාවට වන්දනාමාන කිරීමට මග පාදා දුන් මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ 1995 මැයි 26 වෙනිදා දිඹුලාගල මැණිකේ ඇල ප්‍රදේශයේ ගොවිපළට වැඩම කරමින් සිටියදී, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අපවත් වූහ.
මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමි පාණන් වහන්සේගේ තිස්වන ගුණ සමරු පින්කම නිමිත්තෙන්ම 26 වෙනිදා සවස 3,00 ට මනම්පිටිය දිඹුලාගල නාහිමි ප්‍රතිමා වහන්සේ අබියස අධිෂ්ඨාන සම්බුද්ධ පූජාව හා මහා සංඝරත්නයට චතුමදුර, සහිත ගිලන්පස පූජාවක්,මෙන්ම අෂ්ඨ පරිස්කාර පූජාවක් පැවැත්වීමට මාගංතොට ශ්‍රී ධර්මරාජ විහාරාධිපති පූජ්‍ය අත්තනකඩවල ජනතාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ දිඹුලාගල නාහිමි ගුණ සමරු පදනම සංවිධානය කර ඇත.
මීට අමතරව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී ජුනි මස 09 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දිඹුලාගල නාහිමිපාණන් වහන්සේ සිහිපත් කරමින් විශේෂ පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු කර ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.







