දිනසේන රතුගමගේ –
අධික රශ්මිය හේතුවෙන් ඇතිවූ විජලනය සහ උණුසුම් ආඝාතය හේතුවෙන් යාපනයේ තවත් පුද්ගලයෙක් ඊයේ (11) මියගොස් තිබේ. මේ වාර්තා වන්නේ අධික උණුසුම හේතුවෙන් යාපනයේ සිදුවූ 07 වැනි පුද්ගල මරණය ය.
යාපනයේ අල්වායී නැගෙනහිර ප්රදේශයේ ආන්දවර්තෝට්ටම් ගම්මානයේ පදිංචිව සිටි 68 හවිරිදි වල්ලිපුරම් ගෝපාලසිංහම් නැමති පුද්ගලයෙක් මෙසේ ඊයේ මිය ගොස් ඇත.
හදිසියේම ක්ලාන්ත වීම හේතුවෙන් පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යමින් සිටියදී අතරමග මෙම මරණය සිදුවී ඇත.
මියගිය අය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැඩි හිරු රශ්මිය නිසා ඇති වූ ‘උණුසුම් ආඝාතය’ හා අධික විජලනය නිසා මියගොස් ඇති බවට නිගමනය වී තිබේ.
මේ අතර යාපනයේ තවත් ප්රදේශයකට සවස් යාමයේ වැසි වැටෙමින් පරිසර උෂ්ණත්වය අඩුවෙමින් ඇත.







