ඊශ්‍රයාලයට යවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යුද පුහුණුව ලබා දෙන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මේ වනවිට ශ්‍රී ලංකාව කරමින් සිටින්නේ ගිනිගත් ගාසා තීරයේ වැසියන්ගේ නිවෙස්වලින් සුරුට්ටු පත්තු කිරීමක් බවත්, ශ්‍රමිකයන් ඊශ්‍රයාලයට යැවීමට ගත් තීරණය සම්බන්ධව මැදපෙරදි තානාපති කාර්යාල කීපයක් තමාට දැන්වූයේ එය සංවේදී අවස්ථාවක නොගත යුතු තිරීනයක් බවත් යැයි කීවේය.
ගාසා තීරයෙන් එන ශ්‍රමිකයන්ගේ අඩුව පුරවගෙන ගාසා තීරයේ අත්පත් කරගත් පලස්තීනුවන්ගේ භූමියේ රැකියා සඳහා යෙදවීමට මෙම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොදවන බවද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්නතුවේ දී පැවසුවේය.
වටේම සිටිනා අරාබි රටවල ශ්‍රී ලාංක ශ්‍රමිකයන් ලක්ෂ ගණනක් සේවය කරන බව කී මන්ත්‍රිවරයා ඒ රැකියා අවස්ථා අවදානමට ලක්කරමින් මෙවැනි අවස්ථාවාදී තීරණ නොගන්නා ලෙස දන්වා සිටියේය.
“ඉතාම සංවේදී කරාණාවක් ගැන කතා කරන්නේ. ගාසා තීරයේ සිදුවන විශාල මානුෂීය යුද අපරාධ අස්සේ අපි ඊශ්‍රයාලයට ශ්‍රමිකයන් යවනවා. ඒ වටේටම තිබෙන අරාබි රටවල් කීපයක ලාංකිකයන් වැඩ කරනවා.
අපි කරන්න හදන්නේ පලසතීනුවන්ගේ ගෙවල් ගිනි ගන්නකොට සුරුට්ටු පත්තු කරනවා වගේ වැඩක්. ඒ විතරක් නෙමෙයි, ඊශ්රයලායට දැනට යවන අයට යුද පුහුණුවක් ලබා දීමේ සූදානමක් තියනවා. මේ යුද පුහුණුව නැවත අපට පාරාවළල්ලක් වෙන්න පුලුවන්. ඔවුන් මේ රටවලට ආවට පස්සේ.”
“ගාසා තීරයෙන් එන ශ්‍රමිකයන් අහිමි වීමත් එක්ක ඇතිවන පුරප්පාඩුවලටත්, පලස්තීනුවන්ගෙන් උදුරාගත් භූමියට ගිහින් වැඩ කරන්නත් තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ.”
ඒකයි ඇත්ත කාරණාව. මේ ගැන අරාබි රටවල විදේශ තානාපතිවරු කීප දෙනෙක් කියා සිටියා මේක ඉතාම වැරදි වෙලාවක ගන්න වැරදි තීරණයක් හැටියට.”
“මේක හරියට ජර්මනියේ නට්සි කරුවන් යුදෙව්වන් මරණකොට ලාංකිකයන් ජර්මනියට යවනවා වගේවැඩක්. අපි ඒ වැඩක් කරන්නේ. “
“දවස් පහයි සටන් විරාමය තියෙන්නේ . ඊට පස්සේ යළිත් ඊශ්‍රයාලය ප්‍රහාර පටන් ගන්නවා. “ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා කීවේය.
ඊට පිළිතුරු දුන් විදේශකටයුතු පිළිබඳ ඇමති මනුෂ නානායක්කාර ප්‍රකාශ කළේ මෙවැනි ජාතිවාදී ප්‍රකාශ කරමින් මුස්ලිම් වරුන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීම සඳහා රවුෆ් හකීම් මන්ත්‍රීවරයා කරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධව තමන් කණගාටුවන බවය.
රටක් ලෙස ශ්‍රී ලංකාව යුද්ධයට විරුද්ධ බව කී ඇමතිවරයා මුලින්ම හමාස් සංවිධානය ඊශ්‍රයාලයට එල්ල කළ පහරදීම සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කළා සේම ඊශ්‍රයාලය විසින් ගාසා තීරයේ සිදුකළ විනාශයට සම්බන්ධව රජයක් ලෙස ශ්‍රී ලංකාව සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බවය.
කිසිම ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුට යුද පුහුණුව ලබා නොදෙන බවත්, ඔවුන් ගාසාවේ පලස්තීනුවන්ට අයත් භූමියේ වැඩ කිරීමට යොදවන බවට කළ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් ඇමතිවරයා කීවේය.
ඔහු ප්‍රකාශ කළේ යුද්ධය පවතින කිසිම ප්‍රදේශයක් ආසන්නයේවත් සේවය කිරීමට ශ්‍රී ලාංකක ශ්‍රමිකයන් නොයවන බවය.
මෙැවනි ජාතිවාදී ප්‍රකාශ නොකරන ලෙස ද ඇමතිවරයා රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේය.







