ඊයේ පැය 5ක පමණ විදුලිය බිඳ වැටීම හේතුවෙන් රුපියල් කෝටි 600 කට අධික ඝෘජු ආර්ථික හානියක් සිදු ව ඇතැයිද ඊට වන්දි ගෙවිය යුත්තේ වත්මන් විදුලිබල අමාත්‍යවරයා සහ ලේකම්වරයා බවද බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පවසයි.
තමා සභාපති තනතුරේ සිටියදී විදුලිය බිඳ වැටීම් වැළැක්වීම සඳහා 2022 සැප්තැම්බර් 9 වන දින අංක 2296/38 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් විදුලිබල අමාත්‍යංශයට හා ලංකා විදුලි බල මණ්ඩලයට නියෝගයක් නිකුත් කර තිබු බවද ඔහු පෙන්වා දෙයි.
එහිදී මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා මෙසේ ද පැවසුවේය.
“ 2021 දෙසැම්බර් 3 වැනි දින මේ ආකාරයටම රට පුරා විදුලිය බිඳ වැටුණා. එදා ගිගා වොට් පැය 10ක විදුලි ප්‍රමාණයක ඉල්ලුම සපුරාලන්න බැරි වුණා. එහි ආර්ථික හානිය රුපියල් කෝටි 1500ක් පමණ වුණා. ඊයේ රාත්‍රි බිඳවැටීම පැය කිහිනයකින් යථාතත්වයට පත්කරන්න හැකියාව ලැබුණත් එහිදිද රුපියල් කෝටි 600කට අධික ආර්ථික හානියක් සිදු වුණා.”
“ තවදුරටත් හානිය සිදුවෙමින් පවතිනවා. මන්ද මේ වන නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වෙලා. ඒ වෙනුවට
ඉන්ධන බලාගාර වලින් විදුලිය ගන්න සිදුවෙනවා නම් ඒ්කකයට රුපියල් 60කට අධික පාඩුවක් සිදුවෙනවා. ඒ පාඩුවද එක් කළ විට ඊයේ විදුලිය බිඳ වැට්ටවීමේ පාඩුව රුපියල් කෝටි 1000කට ආසන්න වෙන්න පුළුවන්. මම මෙහිදි බිඳ වැට්ටවීම ලෙස අවධාරණය කලේ මෙය වළක්වා ගත හැකිව තිබු තත්ත්වයක් නිසා. “
“මන්ද 2021 විදුලිය බිඳ වැටීමෙන් පසුව ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මම ඇතුළු එවකට කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් පුළුල් විමර්ශනයක් කළා. ප්‍රසිද්ධ විභාගයක් ද පවත්වා අපි විසින් නිකුත් කළ නියෝගය මගින් විදුලි බල අමාත්‍යංශයට හා ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ 7ක් ඉදිරිපත් කළා. විදුලිබල මණ්ඩලයේ විදුලි ආරක්ෂණ මුලධර්ම හා ආරක්ෂණ ප්‍රමිති ක්‍රියාමාර්ග යාවත්කාලීන කළ යුතු බව අප කළ ප්‍රධාන නිර්දේශයක්. “
“නමුත් අද වන විට එය ඉටුනොකල බව දැන් පැහැදිලියි. ඒ වගේම එදා විමර්ශනයේදි අනාවරණ වුණා ජාලය තුළ දෝෂ සහිත රැහැන් ඇදීමක් හා භුගත කීරීම්වල දුර්වලතා පවතින බව. ඒ සම්බන්ධයෙන් විමර්ශනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි එදා ලංවිමට නියෝග කලා.”