මේ කඨින චීවර පූජා අවසන් කෙරෙන අවසන් පුන් පොහෝ දිනයයි. බුද්ධශ්‍රාවක භික්ෂූන් වහන්සේලාගේ සිරුර බබළන කසා වන් චීවර පිළිබඳව අලුත්ම කතාවක් වාර්තා වන්නේ තායිලන්තයෙනි.
බුදු රාජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිද්දෙන්ම භාවිතයෙන් ඉවත ලන දේ අසුරින් තම චීවරය සකසා ගන්නට අලුත් ප්‍රවේශයක් ගෙන ඇති මේ තායිලන්ත ථෙරවාදී භික්ෂූන් වහන්සේ තම චීවරය මැසීමට යොදා ගන්නේ ඉවත ලන ප්ලාස්ටික් බෝතල්ය. උන්වහන්සේලා දැඩි වෙහෙසක් පරිශ්‍රමයක් දරා මෙම ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කොට එයින් නිපදවන නූලෙන් මෙම චීවර සකසා ගනිති.
මෙම කටයුත්තට මුල පිරුවේ තායිලන්තයේ වට් චක් ඩෙන්ග් විහාරයයි. එම විහාරයීය භික්ෂූන් වහන්සේ නමකට පැන නැගුණු අදහසක් වූයේ ඒ විහාරස්ථානය අසලින් ගලා බසින නදියේ දිනකට ගොඩ ගැසෙන පානීය ජලය අසුරන ප්ලාස්ටික් බෝතල් දැවැන්ත උවදුරකි.මේ අසිරිමත් ජල සම්පත් දූෂණය කරන මේ බෝතල් උවදුර දෙස නිර්මාණශීලීව බැලූ එක් යතිවරයාණ නමක් මුලින්ම කළේ මෙම පරිසර දූෂණය ඉවසනු නොහැකිව ඒවා හැමදාම එකතු කොට ප්‍රතිචක්‍රීකරණ ආයතනයකට යැවීමය.
උන් වහන්සේලාට එයින් යම් නිෂ්පාදනයක් කිරීම පිළිබඳව අදහසක් පැවතුණද එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ අවශ්‍ය තාක්ෂණය ඔවුන් සතු ව නොපැවතීමය.එසේ වුවද අහම්බයකින් එම විහාරයට එරට ප්‍රදාන පෙළේ ප්ලාස්ටික් සහ රසායන සම්බන්ධ සමාගමක නියෝජිතයන් පිරිසක් පැමිණියහ. ඔවුන්ට මේ ප්ලාස්ටික් බෝතල් අලංකාර චීවරයන් බවට පත් වූයේ මේ තාක්ෂණය තිබිණ.
එම ප්ලාස්ටික් බෝතල් කුඩා නූල් බවට පත් විය. පසුව කහ පැහැයෙන් වර්ණ ගැන්වූ අලංකාර චීවර බවට පත් වන අතර එය අද එම විහාරය කේන්ද්‍රීය වූ සමාජ ව්‍යවසායක් ලෙසින් ක්‍රියාත්මක වෙයි.
මෙම චීවර නිෂ්පාදනයේදී ප්ලාස්ටික් නූල් සියයට 34ක් පමණ ප්‍රතිශතයක් භාවිත වන අතර ඉතිරි නූල් පොලියෙස්ටර් , කපු හෝ සේද භාවිත වෙයි. මේ වනවිට භික්ෂූන් වහන්සේලා විසින් එකතු කරන බෝතල්වලට අමතරව පන්සලට නිතර පැමිණෙන දායකයෝද මේ අබලි ප්ලාස්ටික් බෝතල් ද සැදෑ සිතින් භික්ෂූන් වෙත පුදන්නේ එක් අතකින් මේ භික්ෂූන් වෙනුවෙන් සිදු කරන පූජාවක් ලෙසින් පමණක් නොව පරිසරය වෙනුවෙන් ද සිදු කරන වතාවතක් ලෙසින්ය.
දැන් මෙම භික්ෂූන් වහන්සේලා ට මෙම චීවර ඇණවුම් වෙනත් අවශ්‍ය අයටද ලබා දිය හැකි තරමට මෙම ප්ලාස්ටික් බෝතල චීවර නිෂ්පාදනය ව්‍යාප්ත වී ඇත.










