පාකිස්ථානයේ හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු සිව් දෙනෙකු හට දේශද්‍රෝහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.
හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් එරට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ වැඩසටහන් කඩා කප්පල් කිරීමට උත්සහා කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
ඉම්රාන් ඛාන්ට අතිරේක පාකිස්ථානයේ හිටපු මුදල් අමාත්‍ය සහ වර්ථාමන පන්ජාබ් ප්‍රාන්ත මහ ඇමතිවරයාටද මෙම චෝදනා එල්ලවී ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉකුත් සඳුදා දිනයේදී පාකිස්ථාන රූපවාහින නාලිකා වල සහ සමාජ මාධ්‍ය වල එරට හිටපු මුදල් අමාත්‍යවරයාගේ යැයි සැලකෙන හඬපටයක් ප්‍රචාරය වී තිබිණි. එම හඬපටයට අනුව හිටපු මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රදේශීය අමාත්‍යවරුන් පිරිසකට පවතින ගංවතුර තත්ත්ව හේතුවෙන් පවතින අයවැයට අනුකූලව කටයුතු කළ නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවසන ලෙසට උපදෙස් දී ඇත.
ඒ අනුව අදාල හඬපටය පදනම් කරගෙන මෙම දේශද්‍රෝහීව කටයුතු කළ බවට පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉම්රාන් ඛාන් හට සිය බලය අහිමි වුවත් පසුගිය කාලය පුරාවටම පාකිස්ථානය පුරා ජන රැලි සංවිධානය කරමින් සිය දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට උත්සහ කරන අයුරු දැක ගැනීමට හැකිවිය.
එහිදී ඔහු තමන්ට අග්‍රාමත්‍යධුරය අහිමිවීම පිටුපස බටහිර බලවේග සිටින බවට දිගින් දිගිටම ප්‍රකාශ කළ අතර ඔහු සිය ධුර කාලයේදී මෙතක් පාකිස්ථානය අනුගමනය කළ ඇමරිකානු එක්සත් ජනපද හිතවාදී ප්‍රතිපත්ති වලින් මිදී චීනයට සමීප වන අයුරුද දැක ගැනීමට හැකිවිය.