ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ඉදිරියේ දී කටයුතු කරන බවත්, රටක් දියුණු වීමට නම් ලෝකයට විවෘත විය යුතු බැවින් ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. .
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (13) පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, ඉන්දීය ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය මෙරට ආර්ථිකයේ දියුණුවට පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ සබඳතා ආරම්භ වුයේ මීට වසර හත්සීයකට පමණ පෙරයි. කේරළයේ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉතිහාසයක් අපට තිබෙනවා. කේරළයේ ජනතාව මෙරටට පැමිණ ව්‍යාපාර ආරම්භ කිරීමත් සමග නවගමුවේ පත්තිනි දේවාලය ආරම්භ වූ බව ද ඉතිහාසයේ සඳහන් වෙනවා.
මේ වන විට ඉන්දියාව ආසියානු කලාපයේ ප්‍රබල රටක් ලෙස බලය තහවුරු කරගෙන තිබෙනවා. නමුත් බටහිර ආසියානු රටවල් ද ප්‍රබල තත්ත්වයට පත් වී තිබීමත් විශේෂත්වයක්. ඉන්දියාව වැනි ප්‍රබල රටක් සමග ව්‍යාපාර සබඳතා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරගත හැකියි. ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවට ආර්ථිකමය වශයෙන් ඉදිරියටම ඒමට හැකි වී තිබෙනවා . එම මූල්‍ය ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි දැක්මටත් මනා පිටිවහලක් වෙනවා.
මට අවශ්‍ය වන්නේ, ශ්‍රී ලංකාව දැඩි තරගකාරී ආර්ථික රටාවකට නතු කිරීමටයි. හරිත ආර්ථිකයක් හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ශක්තිමත් තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා නීතිරීති අවශ්‍යයි. තරගකාරී , හරිත, ඩිජිටල් ආර්ථිකයක් සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ඉන්දියාව සමග සමීප සබඳතා පැවැත්විය යුතුයි. ලංකාවේ ආර්ථික අරමුණු සහ ඉලක්ක ජය ගැනීමට දෙරටේ සහයෝගීතාවය ඉතා වැදගත්. දෙරට අතර නව ගිවිසුම් ඇතිකර ගැනීමේ හැකියාව සොයා බලා අදාළ අංශ ඒ සඳහා යොමු කළ යුතුයි.
ඉන්දියාවේ රුපියල ශ්‍රී ලංකාවේ සංසරණය වීම පිළිබඳව මෙහිදී කතා වුණා. ඉන්දියාවේ රුපියල පමණක් නොවෙයි , ඩොලර් පවා සංසරණය වෙනවා නම් මෙරට ආර්ථිකයට එය ඉතාම වැදගත් වෙනවා. ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට අප ඉදිරියේ දී කටයුතු කරනවා. රටක් දියුණු වීමට නම් ලෝකයට විවෘත විය යුතුයි. ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ගෙන එන බව මම කියන්න කැමතියි.