දිනසේන රතුගමගේ –
නීති විරෝධී ලෙස යාපනයේ කරෙයිනගර් මුහුදු සීමාවට පැමිණ මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකුට මාස හයක කාලයක අත්හිටවූ සිරදඩුවමක් වසර දහයකට බලපැවැත්වෙන පරිදි නියම කොට එම ධීවරයින්ව කයිට්ස් අධිකරණය මගින් ඊයේ ( 23 ) නිදහස් කොට තිබේ.
මෙම ධීවරයින් 22 දෙදෙනා සහ ඔවුන් පැමිණි යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ පසුගිය පෙබරවාරී 24 වෙනිදාය.
නාවික හමුදාව එම ධීවරයින්ව යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දීමෙන් පසුව ශ්‍රී ලංකා භූමිය තුළට අනවසරයෙන් ඇතුළුවීම, ජලජ සම්පත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව මසුන් ඇල්ලීම, අත්අඩංගුවට ගෙන සිටියදී දැල් විවෘත නොකිරීම, තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීම යන චෝදනා යටතේ චෝදනා ගොනු කර තිබුණි.
සියලු චෝදනා ඉන්දීය ධීවරයින් විසින් පිළිගත් අතර උක්ත දඬුවම නියම කර ඔවුන්ව නිදහස් කළ මහේස්ත්‍රාත්වරයා එම ධීවරයින් ආපසු ඉන්දියාවට යැවීමට පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට නියෝග කළේය.








