ඩිජිටල් ගෙවීම් පද්ධතිය වර්ධනය සඳහා කිසිදු මුදලක් අය කර නොගන්නා බවත් එය සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කිරීමට ජනතාවට හැකියාව ලැබෙන බවත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි.
මුම්බායි හි පැවැත්වුණු උත්සවයක් අමතමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය. ජනතාව ඩිජිටල් ගෙවීම් සඳහා කෙමෙන් නැඹුරු වෙන වටපිටාවක එම තත්ත්වය වඩාත් වර්ධනය කිරීම සඳහා ජනතාවට නොමිලේ එම පහසුකම ලැබිය යුතු යැයි රජය විශ්වාස කරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ජනතාවගෙන් මුදල් අය කර ගැනීම වෙනුවට සපයන්නන් දරන පිරිවැය අය කර ගැනීමට වෙනත් ක්‍රමවේදයක් සඳහා මුදල් අමාත්‍යංශය අවධානය යොමු කරමින් සිටියි.
“ඩිජිටල් ගෙවීම් පොදු යහපතක් විදියටයි අපි දකින්නේ.. ඉන්දියානු ආර්ථිකයේ ඩිජිටල්කරණය ජනතාවට ආකර්ෂණීය වෙන විදියට නොමිලේ ඒ පහසුකම භුක්ති විඳින්න ලැබෙන්න ඕනේ.. ඩිජිටල්කරණය හරහා ඉහළ විනිවිදභාවයක් ලබා ගැනීමට අපි අදහස් කරනවා. ඒ හින්දා තවම මුදල් අය කරන්න කාලේ ඇවිල්ලා නෑ..”
අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.







