ශ්‍රියානි විජේසිංහ –
ලෝක වෙළඳ පොලේ පොහොර මිල වැඩි වුවත් ඉදිරි මහ කන්නයේ දී ගොවි ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර හිඟයකින් තොරව සාධාරණ මිලක් යටතේ අතරමැදියන්ගෙන් තොරව ලබා දීමට පොහොර සමාගම් එකඟතාව පල කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවාගේ පවසයි.
පොහොර මිලදී ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස ගොවි සංගම් නියෝජිතයින් කළ ඉල්ලීමට අනුව පොහොර සමාගම් නියෝජිතයින් සමඟ දීර්ඝ ලෙස කළ සාකච්ජාවෙන් අනතුරුව මෙම තීරණයට පිවිසි බව අධ්යක්ෂවරයා පවසා සිටියි.
මේ අනුව කිලෝ 50 යූරියා පොහොර මිටියක් රුපියල් 8750.00ක මුදලකටත් මඩ පොහොර කිලෝ 50 පොහොර මිටියක් රුපියල් 12000.00 ක මුදලකටත් සෘජුවම ගොවීන්ට පොහොර සමාගම් මගින් ලබා ගැනීමට හැකියාව ඇති බව ඔහු පැවසීය.
මෙවර මහ කන්නයේ දී පෙර කන්නවලට වඩා වැඩි ප්‍රමාණයක් ලෙස හෙක්ටයාර 850000 කට ආසන්න ප්‍රමාණයක් වී වගා කිරීමට නියමිත බවත් පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට යොමු කළ යුතු බවත් හෙතෙම කීය.
පස පරික්ෂා කර අවශ්‍ය පොහොර ප්‍රමාණ හදුනා ගෙන ඊට අදාළ පොහොර යෙදීමට අවශ්‍ය පරිසරය මේ වන විට සකස් කරමින් පවතින බව ද මේ යටතේ පස පරීක්ෂාව සඳහා ස්වේචඡා කෘෂිකර්ම පුහුණු පිරිස් පුහුණු කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.







